රුපියල් කෝටි 355ක බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් දැනට සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් මහතා සහ තවත් අයට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා හමුවේ ඊයේ විශේෂ නඩු විභාගයක් පැවැත්විණි. මෙම නඩුව පවරා ඇත්තේ කඩදාසි මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනි.
චෝදනාවට අනුව පුවත්පතක් මුද්‍රණය කිරීමට බව පවසමින් කඩදාසි මිලදී ගෙන රුපියල් කෝටි 1.25ක පමණ මුදලක් වංචා කර ඇත. මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ අර්ජුන ඇලෝසියස්ට අමතරව නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගමට සහ කඩතොටගෙදර චමින්ද සහන් මහතා ය.
නඩු විභාගයේදී පළමු විත්තිකරු වන අර්ජුන ඇලෝසියස් මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත් දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය පැවසූ අන්දමට,
විත්තිකරුවන් බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැනදැනම 2019 වසරේදී අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කර රුපියල් මිලියන 12ක් වංචා කර ඇත. එමෙන්ම සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක්ද ඇත.
පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුව අධ්‍යයනය කිරීමට කාලයක් ඉල්ලා සිටි අතර, ඔහුට ඇප ලබා දෙන ලෙසද ඉල්ලීමක් කරන ලදී.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් අට දෙනෙකුගේ ශරීර ඇප මත පළමු විත්තිකරු මුදා හැරීමට නියෝග කළේය. තවද පැමිණ නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු 19 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතීසි නිකුත් කරන ලදී.
0 Comments