army-guard-houses

රජය බාරයට ගත් හිටපු අමාත්‍යවරුන්ගේ පාවිච්චි කළ නිල නිවාසවල ආරක්‍ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි.උපරිම ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව එම රජයේ බංගලාවලට මෙසේ යුද හමුදා භට පිරිස් යෙදවූ බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.



 
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ (12) බාර දුන් බව එම අමාත්‍යාංශය පවසයි.සනත් නිශාන්ත මහතාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් එහි ගොස් එම බංගලාව රජයට බාරගෙන ඇත.සනත් නිශාන්ත මහතා පසුගිය ජනවාරි 25 වැනිදා හදිසි අනතුරකින් මිය යෑමෙන් පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම බංගලාවේ දිගටම රැඳී සිටීමට පසුගිය රජය අවස්ථාව සලසා දී තිබිණ.


නව රජය බලයට පත්වීමෙන් පසු හිටපු ඇමැතිවරුන්ගේ නිවාස යළි රජයට බාර ගැනීමට ගත් තීරණයත් සමග මෙම නිවාසය ද රජයට ගැනීමට කටයුතු කෙරිණ.

මෙම බංගලාව බාරදීමත් සමග හිටපු ඇමැතිවරුන්ගේ සහ රාජ්‍යඅමාත්‍යවරුන්ගේ බංගලා සියල්ල බාරදී අවසන් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.මේ අනුව බාරදී ඇති බංගලා සංඛ්‍යාව 28කි. මේ අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාට ලබාදී තිබූ බංගලාව ද අද හෙටම රජයට බාරදීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
( සුජිත් හේවාජුලිගේ)