asgiri-thera-speaks

බෞද්ධ වෙහෙර, විහාරස්ථාන පිළිබදව පැන නගින ගැටලුවක් සම්බන්ධව ලිපිලේඛන ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සදහා බුද්ධශාසන අමාත්‍යාංශය වෙත භික්ෂූන් වහන්සේ නමක් ගිය විට එම අමාත්‍යාංශයේ නිලධාරීන් භික්ෂූන් වහන්සේගේ ප්‍රශ්නයට මැදිහත් නොවන තත්වයක් දක්නට ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධීකාරි ආචාර්ය  මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.




බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා හමුවේ ධම්මානන්ද හිමියෝ මේ බව පැවසූහ. ධම්මානන්ද හිමියෝ මෙසේ ද පැවැසූහ. අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් භික්ෂූන් වහන්සේ නොසලකා හරින තත්වයක් තිබෙනවා. බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණෙන භික්ෂූන් වහන්සේලාගේ යම් කටයුත්තකට විසඳුම් ලබාදීමට එම විෂය භාර අමාත්‍යවරයාම මැදිහත් විය යුතුයි. නිලධාරින් ඒ ප්‍රශ්න ගැන දන්නෙත් නැහැ. ඔවුන්ට එම ප්‍රශ්න විසඳන්නත් බැහැ. එම නිසා විශේෂයෙන් අමාත්‍යවරයා ඒ ගැන සොයා බැලිය යුතුයි.


පුරාවිද්‍යා පනතටත් මහා නායන හිමිපාණන් වහන්සේලා ඇතුළු අප සංශෝධන ඉදිරිපත් කළා.

ඒවට මොකද වුණේ? ඒ ගැනත් අමාත්‍යතුමාගේ අවධානය යොමු කළ යුතුයි. ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම් සංඝ සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳව පියවර ගැනීම සඳහා පියවර ගන්න ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන්වහන්සේලාට බලය පැවරෙන අන්දමට යෝජිත සංඝ කතිකාවත් පණත සංශෝධනයක් ඇති කිරිමට පියවර ගන්න. දහම් පාසල්වල ගුණාත්මකභාවය පිළිබඳවත් සොයා බලා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සංඝ කතිකාවතකින් කළ යුතු දේ විහාර දේවාලගම් පණතේ සංශෝධනවලින්ද කළ හැකි යැයි අස්ගිරි මහා විහාරයීය මහා ලේඛකාධීකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ බුද්ධ

ශාසන අමාත්‍යවරයා දැනුවත් කරමින් පැවසූහ. මෙහිදී කෙටි අනුශාසනාවක් කළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අධ්‍යාපනපති පූජ්‍ය ආණමඩුවේ දම්මදස්සී  නායක හිමිපාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලාගේ චර්යාත්මක දුර්වලතා අනුව දඬුවම් ලබාදීම හා විනය කටයුතු සිදුකිරීම සම්බන්ධ බලය තුන් නිකායේ මහානායක හිමිපාණන් වහන්සේලා වෙත පැවරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධ ශාසන අමාත්‍යවරයාට පැවසූහ.



මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධීකාරි, අස්ගිරි මහා විහාරයීය පිරිවෙන් අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දහිමිපාණන් වහන්සේද සහභාගි වූහ.සියම් මහා නිකායේ අස්ගිරි මහා විහර පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යවරයා සමග මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
  ජේ.ඒ.එල්. ජයසිංහ