පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ බැම්මක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 61 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (26 දා) පෙරවරු 7.00ට පමණ සිදු වූ මෙම අනතුරින් අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, බිඳුණු වැව, ජනාදර මාවතේ පදිංචිව සිටි ප්‍රදීපා පීරිස් රත්නායක නමැති කාන්තාවකි. මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර තිබෙන අතර, සිද්ධිය
සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාර වෙල අතර පස්කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබිණි.
එසේම, හපුතලේ - බණ්ඩාරවෙල මාර්ගයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබිණි. එසේම, හපුතලේ - යහලබැද්ද මාර්ගයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ඊයේ දැඩි බාධා එල්ල වී තිබිණි. එමෙන්ම, කොළඹ - බදුල්ල මාර්ගයේ තැනින් තැන පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබූ අතර, හපුතලේ තැපැල් කාර්යාලය පිටුපසට විශාල ගලක් පෙරළීම නිසා එහි ගොඩනැඟිල්ලේ බිත්ති පුපුරා ගොස් තිබිණි.
හපුතලේ බොහෝ ස්ථානවල පස් කඳු කඩා වැටීමෙන් ජනතාව විශාල අන්දමින් පීඩාවට පත්ව සිටින අතර, එදිනෙදා කටයුතු වලට ද දැඩි බාධා එල්ල වී තිබිණි. මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කීපයක් අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනා කරන ඒකකය කියයි. නාය යැම්, පස්කඳු කඩා වැටීම්, ගස් හා ගල් කඩා වැටීම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇතැයි ද එම ඒකකය පවසයි. ඒ අනුව බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරි මණ්ඩලය අසල, හපුතලේ - බෙරගල මාර්ගය, බදුල්ල - පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල - කඳන හරහා ළිංවැලි මාර්ගය, බදුල්ල - පස්සර මාර්ගයේ 7 කණුව, බිබිල - ලුණුගල මාර්ගයේ බරවා කුඹුර යන ප්‍රදේශ අවහිර වී තිබිණි.
අධික වර්ෂාව සමග ඇති වූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ ලක්ෂ උයන යන ප්‍රදේශවල පිහිටි නිවාස 30 කට පමණ අලාභහානි සිදුවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
ඊයේ (26 දා) අලුයම 1.15ට පමණ මෙම තද සුළං තත්ත්වයක් ඇති වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ. නිවෙස්වල වහළය සුළඟට ගසාගෙනයෑම, නිවෙස් මතට ගස් කඩාවැටීම ආදිය හේතුවෙන් මෙම හානි සිදුව තිබෙන බව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවැසීය. එම සුළං තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහන සැලසීමට කඩිනම් පියවර ගෙන ඇතැයි ද ඒ මහතා කීය.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා එම ප්‍රදේශයේ විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට නොපමාව පියවර ගන්නා බව පොළොන්නරුව විදුලි ඉංජිනේරු කාර්යාලය පවසයි.
මාර්ගවල ගමනාගමනයට අවහිර වන පරිදි සහ විදුලි රැහැන් මතට කඩා වැටී ඇති ගස් කපා ඉවත් කිරීමට පොලොන්නරුව මහ නගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
නොකඩවා ඇදහැලෙන වර්ෂාවෙන් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මනම්පිටිය, මඩකලපුව, ගල්ලෑල්ල ප්‍රධාන මර්ගය සහ සුංගාවිල සෝමාවතිය චෛත්‍යය මාර්ගයේ ඊයේ (26 දා) උදේ අගල් 6 ක් පමණ ජලයෙන් යට වී තිබුණි.
මාර්ගය ජලයෙන් යටවුවද සිරිත් පරදි රථවාහන ගමනාගමනය සිදු විය. අරලගංවිල බෝගහංදිය මාදුරු ඔය ප්‍රධාන මර්ගයේ 19/1 පාලම ගිලා බැසීම නිසා ඊයේ (26දා) උදේ සිට මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය. ගල්ලෑල්ල මනම්පිටිය මාර්ගය රථවාහන ගමනාග මනයට බාධාවක් සිදු වුවහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත එකනායක මහතා පැවසීය.
වර්ෂා ජලයෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පොලොන්නරුව වාරි මාර්ග ඉංජිනේරු වරයා සූදානමින් සිටින බවද දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය. මහවැලි ගඟ පිටාර ගැලීමත් සමග කුඩා ප්‍රමාණයේ අතු ඇළවල්ද පිටාර ගැලීමෙන් මැදිරිගිරිය, අලුත්වැව යන ප්‍රදේශ වල කුඹුරු ඉඩම්ද ජලයෙන් යට වී තිබේ.
ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් නාවලපිටිය ආසනයේ උඩහේන් තැන්න, තිබ්බටු පොළ පාලම කැඩීයෑමෙන් ගම්මාන හතරකට අයත් පාසල් සිසුන් හැත්තෑවක් ඇතුළු පවුල් 400ක් පමණ දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම ගම්වාසීහු පවසති.
කුරු පැලැල්ල, තිබ්බටු පොළ, මෞෂ්විල් හා විජයගම ගම්මු මෙසේ පීඩාවට පත්ව සිටිති.
මේ දිනවල නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මහවැලි ගඟ දෙපස හා ගගේ නිම්නවල වෙසෙන ජනතාවට අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව නිතර මහත් සෝදිසියකින් සිටින ලෙස හා කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් සිටී.
විශේෂයෙන්ම තඹලගමුව, කින්නියා, මුතූර්, සේරු නුවර, කෝරළේපත්තු උතුර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, තමන් මඩුව සහ වැලිකන්ද ඇතුළු පහත් බිම් වල වෙසෙන ජනතාව ඉදිරි පැය 48 ක කාලය තුළ අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනා කරණ) ඉංජිනේරු යූ.පී. ඊ. සුගීශ්වර මහතා ඉල්ලා සිටී. මෙම ප්‍රදේශවලට ඇති විය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවධානයෙන් පසුවන ලෙසට වාරි මාර්ග අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය, කඳපොල යන ප්‍රදේශ වලට ඉකුත් 25 දා සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවර එළිය කඳපොල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි. මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (26 දා) උදෑසන සිට ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
නුවර එළිය තුරඟ තරග පිටිය අසල පිහිටි නිවාස රැසක්. වික්ටෝරියා උද්‍යානය මෙසේ ජලයෙන් යට වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. එම නිසා ප්‍රදේශයේ පහතබිම්වල පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යට වී ඇත. මේ නිසා එළවළු වගාවට දැඩි හානි සිදුවී ඇති බවත්, ජලය ගැලීමෙන් පීඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටී.
අධික වර්ෂාව හේතුවෙන් උතුරේ සියලුම කුඩා වැව් පිටාර ගලන්නට පටන් ගෙන ඇති අතර එම ජලය එකතු වීම නිසා උතුරේ මධ්‍යම ප්‍රමාණයේ වැව් අටක් කැඩී යෑමේ තර්ජනයකට ලක්ව තිබේ.
කැඩී යෑමට ආසන්න වූ වවුනියාවේ වැව් දෙකක් හා සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක්ද මුලතිව්, තන්නිමුරුප්පුව හා ඔතියමඩු වැවද වාරි මාර්ග නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව වැව් බැමිවලට වැලි කොට්ට ගසා වැව් බැමි බේරා ගෙන තිබේ. වැව් බැමි කැඩී යා හැකි වැව් වලට පහළ කොටස්වල ජිවත් වන වැසියන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස නිලධාරීන් උපදෙස් දී තිබේ.
උතුරු පළතට දින නවයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මේ දක්වා පහව ගොස් නොමැත.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා යාපනයේ සිට ඩෙෆ්ට් දූපතට බෝට්ටු ගමන් කිරීම 25 දා සිට නතර කොට තිබේ.
ඩෙෆ්ට් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ සාමාන්‍ය බෝට්ටු ගමන් කිරීම යාපනයේ කුරීකච්චුවාන් ජැටියේ සිට නවතා දමා ඇතත් ඉතාම හදිසි අවස්ථා සඳහා නාවික හමුදාවේ සහායෙන් නාවික හමුදා යාත්‍රා ප්‍රයෝජනයට ගන්නා බවයි.
0 Comments