badulla-accident-2death

10.05 am update
 බදුල්ලේ සිදුවූ බස් රථ අනතුරින් තවත් එක් අයෙකු මියගොස් ඇති අතර මුලදී හඳුනාගත් සිසුවියන්ගේ මරණ දෙක සමග එකතුව මේ වනවිට තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූවන්ගෙන් තවත් හය දෙනෙක් බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි සඳහන් කරයි.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ  පිහිටි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය (KDU) දක්‍ෂිණ මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුන් පිරිසක් මෙම චාරිකාවට එක්ව තිබුණ බව වාර්තා විය.


9.45am update
අද (01) උදෑසන 7.45ට  පමණ  බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ ( දුන්හිඳ ) අඹගස් හංදිය අසල ප්‍රදේශයේදී සරසවි සිසුන් ගමන් ගත් බස් රථයක් පෙරළී යාමෙන් සිසුවියන් දෙදෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.


බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථය මාර්ගයේ පෙරළී ඇත්තේ රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමෙන් බව පැවසේ. පෙරළුණ බසය වේල්ලේ හැපී නැවතී ඇත.
 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් චාරිකාවක ගමන් කළ මෙම බස් රථයේ සිසුන් ඇතුළු 41 පිරිසක්  ගමන්කරමින් සිට තිබේ.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ගලවාගන්නා අවස්ථාව වනවිටත් සිසුවියන් දෙන්නෙකු මියගොස් තිබෙන බව හඳුනා‍ගෙන තිබේ.
අනතුරින් පසු සිසුන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. එම ගණන 35 ක් පමණ වෙතැයි රෝහල් ආරංචි හෙළි කරයි.ඒ අය අතර බරපතළ තත්වයේ කිහිප දෙනෙකුද පසුවන බව පැවසිණි.
දුන්හිද ඇල්ල ක්ෂෙත්‍ර චාරිකාවක් සඳහා සිසුන් පිරිස ගමන් කර තිබූ බවත් වංගුවේදී 'බ්‍රේක් වැඩ නොකළ' බවත් බස් රථය පැදවූ අය දන්වා ඇත.
 තුවාල ලැබුවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේවනවිටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.