අද (1) උදෑසන බදුල්ල අඹගස්හන්දිය ප්‍රදේශයේ සිදුවූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිරිසක් රැගත් බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස්රියක් බදුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකට භාජනය වීම සම්බන්ධවයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ - බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී අද (නොවැ 01) දින උදෑසන 0745 ට පමණ අනතුරට ලක් විය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්,
එම කණ්ඩායම භාරව කටයුතු කල උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කල ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා ඇතුළු 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූහ.
සිදු වූ අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත. මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේවන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව හා එක් අයෙකුගේ තත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.
තවද, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේවන විට දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇත.
ලැබී ඇති තොරතුරු අනුව, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම අනතුර සිදුවූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක අමාත්‍යාංශය සිය ස්තූතිය පුදකර සිටී.
0 Comments