බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිද අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වේල්ලක ගැටී පෙරළීමෙන් සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ 3 වැනි දා හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි ජාඇළ ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සරසවි සිසුන් 36ක පමණ පිරිසක් එහි කථිකාචාර්යවරුන් තිදෙනකු, හමුදා නිලධාරීන් දෙදෙනකු සමග බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර පසුව පස්සර
පැල්ගහතැන්න ඌව පළාත් සභා පුහුණු මධ්‍යස්ථානයේ රාත්‍රිය ගතකර පසුදින (01) පස්සර සිට බදුල්ල හරහා මහියංගණ මාර්ගය ඔස්සේ රන්ටැඹේ බලා යමින් සිටියදී දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී මොවුන් ගමන් ගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටී පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම අනතුරින් එහි ගමන් ගත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිවිතිගල තොලබුගමුව පහළ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ජී.අයි. උදයංගනී (24) සහ කුරුණෑගල උණකොළගෙදර කරබිවත්තේ එම්.එන්.ඊ.ටී. හෙට්ටිමුල්ල (23) යන සිසුවියන් දෙදෙනා මියගිය අතර 40 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අනතුරින් බස්රථය පැදවූ රියදුරු ගාල්ල දහම්වල ඇල්විටිගල ජනපදයේ පදිංචි ප්‍රසන්න කුමාර (41) නැමති අය තුවාල ලබා දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය පවසයි.
මීට අමතරව තුවාල ලැබූ සිසුන් හතර දෙනකු සහ සිසුවියක තවමත් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.අනෙක් තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවැසීය.
ප්‍රසාද් රුක්මල්
0 Comments