බදුල්ල දුන්හිදදී ඊයේ (01) සිදුවූ බස් රථ අනතුරින් පසු එම බස් රථයේ සිටි සිසුන් ඇතුළු 41දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.
ඔවුන් අතරින් 39 දෙනෙකු තවදුරටත් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අනතුරින් 23 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විණි.
මෙලෙස මියගොස් ඇත්තේ, නිවිතිගල, තොලබුගමුව, පහළ කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරි උමයංගනා සහ කුරුණෑගල, හුණුපොලගෙදර, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුබුදි හෙට්ටිමුල්ල යන සිසුවියන් දෙදෙනාය.
ඔවුන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ බස් අනතුරින් හිසට සිදුවූ බරපතළ හානි මරණයට පත්වීමට හේතුව වූ බවය.
මේ අතර මියගිය එක් සිසුවියක් වන ඉසුරි උමයංගනා ඊයේ (01) දිනට යෙදී තිබූ පියාගේ උපන්දිනය වෙනුවෙන් වට්ස්ඇප් මගින් සුබපැතුම් පණිවිඩයක් ලියා තිබුණි.
උදෑසනම අවදිව සිටි ඇය තම පියාණන්ට වට්ස්ඇප් ඔස්සේ සුබපැතුම් එක්කර තිබුණේ, අලුයම පහයි තුනටයි.
තම පියාගේ උපන් දිනයදා තමන්ට ජීවිතය හැර යන්නට සිදුවේදැයි ඇය කිසිවිටෙකත් නොසිතන්නට ඇති.
සරසවි ක්ෂේත්‍ර සංචාරය සඳහා සූදානම්ව සිටි ඇය එදින අලුයම තම පියාණන්ට සුබපැතුම් එක්කරන්නට ද අමතක කර නොතිබුණි.
"ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි... ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි ... සුබ උපන්දිනයක් වේවා තාත්තේ" යනුවෙන් සිය ආදරණීය පියාණන් වෙනුවෙන් ඉසුරි සටහනක් යොදා තිබුණි.
ගැහැණු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූයේ ඉසුරියි.
මේ අතර සිද්ධියෙන් මියගිය සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසුව ඥාතීන්ට භාරදී තිබේ.
“අද මගේ මහත්තයාගේ උපන්දිනය. දුව උදේම තාත්තාට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ට කියලා තාත්තට කේක් එකක් එවලා තිබුණා. පසුව මටත් කතා කළා. එහෙම කතා කළ මගේ දුව රිය අනතුරින් මියගිය බව දැන ගන්න ලැබුණා.” යැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් ගමන් ගත් බස් රියක් ඊයේ (1) පෙරවරුවේ බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේදී කණ්ඩියක ගැටී පෙරළීයෑමෙන් මියගිය නිවිතිගල තොලඹුගමුව පහළ කන්දේ පදිංචි එම්.ජී.අයි. උමයංගනි (24) සරසවි සිසුවියගේ මව වන මල්ලිකා නිමල් ශාන්ති (50) මහත්මිය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලිකා මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය:“මේ මියගොස් සිටින මගේ ලොකු දුව කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. මට තව දුවලා දෙදෙනක් ඉන්නවා.
ඒ දෙන්නා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ කරනවා. මම කලක් පොලිස් සේවයේ නිරතව
සිට පසුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසා සේවයෙන් අයින් වුණා. සැමියා
ගුරුවරයකු ලෙස සේවය කර දැන් විශ්‍රාම ලබා ඉන්නවා. කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලයේ දුව කතා කරලා කිවුවා අපි 32 වැනිදා පුහුණු
වැඩසටහනකට බදුල්ලේ යනවා කියලා. පසුව දුවගේ යාළුවොත් එක්ක 42ක් මේ
ගමනට එක් වෙලා තිබෙනවා.
දුව බදුල්ලට ගිහින් කතා කළා. ඒ ගොල්ලෝ ඇල්ලේ ගියා කිවුවා. පසුව එදින රාත්‍රියේ පස්සර පැල්ගහතැන්න පුහුණු මධ්‍යස්ථානයේ නතර වෙලා මට කතා කළා. ඊට පස්සේ අද (1) උදේ දුව කතා කරලා තාත්තගෙ උපන්දිනයට සුබ පැතුවා. එයා එයාගෙ යාළුවෙක්ට කතා කරලා කියලා තියෙනවා කේක් එකක් අරන් ගෙදර ගිහින් තාත්තට දෙන්න කියලා. පස්සේ දුව උදේ මට කතා කරලා කිවුවා අම්මේ අපි ළමයි ඔක්කොම ඊයේ (31) රාත්‍රියේ පුදුම විදියට විනෝද වුණා. අපි අද රන්ටැඹේ ගිහින් මාවනැල්ලට ගිහින් යනවා කියලා. දුව මගේ උපන්දිනය දවසේ මට කිවුවා අම්මෙ අපි නුවරඑළිය ගිහින් අනූනවයෙන් බේරුණා කියලා. එහෙම කිවුව දුව අද තාත්තාගෙ උපන්දිනය දවසේ අවසන් ගමන් ගියා. මට මේ මොනවාත් හිතා ගන්න බෑ... හීනයක් වගේ. උදේ කතා කරපු දුව පැය කීපයකට පසුව රිය අනතුරින් මියගිය බව දැනගන්න ලැබුණා.”
මේ අනතුරින් බස් රථයේ සිටි සිසුවියන් දෙදෙනකු මියගොස්, 39 දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. මෙහිදී මරුමුවට පත් වූයේ නිවිතිගල තොලඹුගමුව පහළකන්දේ පදිංචි එම්.ජී.අයි. උමයංගනී සහ කුරුණෑගල උණකොළගෙදර කරඩිවත්තේ පදිංචි එම්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල නමැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියෝ දෙදෙනාය.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (1) රාත්‍රියේ
බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ මළසිරුරු සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය
සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ
වෛද්‍ය නිලධාරි ඩබ්.ඇම්.කේ.බී. විජේතුංග මහතා විසින් සිදු කරනු ලැබීය.
එහිදී සිසුවියන් දෙදෙනාගේ මරණ රිය අනතුරක් නිසා හිසට සිදු වූ බරපතළ
තුවාල හේතුවෙන් වූ හදිසි මරණ දෙකක් බවට එම වෛද්‍ය වාර්තාවලින් නිගමනය
කෙරිණි.
මේ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නිලධාරියකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මඟින් කොළඹ යුද හමුදා රෝහලට ගෙන ඒමට ඊයේ (1) සවස ගත් උත්සාහය අසාර්ථක වූයේ ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. ඒ තුවාලකරු ගිලන්රියකින් බදුල්ල පාපන්දු පිටියට රැගෙන ආවද, අයහපත් කාලගුණය නිසා ගුවන්ගමන නතර කෙරුණු බැවින් නැවතත් බදුල්ල ශික්ෂණ රෝහලටම රැගෙන යෑමට සිදු වී තිබිණි.
මේ බිහිසුණු අනතුර ඇසින් දුටු සී. රත්නායක මහතා අප සමඟ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය:
“උදේ හත හමාරට විතර ඇති බදුල්ල පැත්තෙ ඉඳලා බස් එකක් ආවා. ඒ බස් එක
එක පාරටම පාරෙ වම් පැත්තේ කණ්ඩියෙ වැදුණා. ඒත් එක්කම මහ සද්දයක් ඇති
කරමින් පෙරළුණා. අපි දුවලා ගිහින් බැලුවා. හිටපු ඔක්කොම වගේ කෑගහනවා.
අපි ඒ ගැන බදුල්ල පොලිසියට කතා කරලා කියලා තුවාල වෙච්ච අය බස් එකෙන්
එළියට අරන් බදුල්ල රෝහලට යවන්න කටයුතු කළා. ඒ එක්කම බදුල්ල රෝහලේ
ඇම්බියුලන්ස් ආවා.
අපි ඔක්කොම එකතු වෙලා තුවාලකාරයන් ඒ ගිලන් රථවලට
දැම්මා. හැබැයි ළමයි දෙන්නෙක් ගත්තා... ඒ අය තරුණ ගැහැනු ළමයි... ඒ
දෙන්නාම මිය ගිහින් කියලා අපිට හිතුණා... මේ වෙලාවේ ලොකු ස්තුතියක් කරන්න
ඕනෑ බදුල්ල රෝහලේ දොස්තර පාලිත මහත්තයාට. එයා ඇවිත් ලෙඩ්ඩු ගෙනියන්න
ලොකු උදවුවක් දුන්නා. මහත්තයෝ... මගේ ෆොටෝ ගහලා දාන්න එපා. අපි කළේ
අපේ අයට වෙච්ච කරදරයකදි උදවු උපකාර කරන එක විතරයි” රත්නායක මහතා
පැවසීය.
0 Comments