badulla-incident-update

 බදුල්ලෙන් ඇදහැලෙන දුන්හිද ඇල්ල මෙන්ම ඒ මාර්ගය දෙපස ද මනරම්ය. කිලෝ මීටර් ගණනාවක් දුර පයින් ඇවිද ගියත් වෙහෙසක් නොදැනෙන තරමට අවට පරිසරය සෞම්‍යය. මාර්ගයේ දකුණු පසින් අහස සිප ගන්නා කඳු පන්තියත් මීදුමත් අවට සුන්දරත්වය තවත් වැඩි කරයි. ඒ සුන්දරත්වයේම කොටසක් බඳු දුන්හිඳ දිය ඇල්ල නරඹා එන අතරමඟදී දරුවන් පිරිසකට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් ඉකුත් සතියේ රටම වේදනාවෙන් සුසුම් හෙළූහ. ඛේදවාචකය අතරින් මනුස්සකම පිළිබඳ අපූරු පණිවිඩයක් රටට දුන් දෙවියකු වැනි ජීවකයකු ගැන ද එහිදී වාර්තා විය.


“බදුල්ල මහ රෝහලෙන් දෙවියෙක් පහළ වෙයි” යනුවෙන් බදුල්ල මහරෝහලේ ජීවකයකු පිළිබඳ සටහනක් පසුගිය සතිය පුරා මුහුණු පොතේ සැරිසරන අයුරු ඇතැම් විට ඔබේ ද නෙත ගැටෙන්නට ඇත. නොමිනිස්කම් රජයන මෙවැනි සමාජයක මිනිස්කම අතික්‍රමණය කළ එවැනි මිනිසුන් සිටීම සැබෑම භාග්‍යයකි. ඉකුත් පළමු වැනිදා උදෑසන බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස් හන්දිය අසල ප්‍රදේශයේදී “ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල” ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මාර්ගයේ ඉවතට පැන පෙරළී යෑමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 38කට ආසන්න පිරිසක් තුවාල ලබා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිසුවියන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර, සෙසු සියලු දරුවන් මුදා ගනු ලැබුවේ විශාල පරිශ්‍රමයකිනි.

දරුවන් මුදා ගැනීම සඳහා ගම්වැසි තරුණයන් සමඟ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ බදුල්ල දිස්ත්‍රික් රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ ය. හදිසි අනතුරින් බරපතළ අනතුරට පත්වූ දරුවන් වෙනුවෙන් තම යුතුකම නොපිරිහෙළා ඉටු කරමින් කාර්යබහුලව සිටින ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සිළුමිණ වෙනුවෙන් කතාබහට එක් කර ගතිමු.

“මේ කතාව ලියන්නම ඕන කතාවක්. අනතුරට පත් බස් රථයෙන් අන්තිමට එළියට ගත් සිසුවා දක්වා ඒ ගැන මට හුඟාක් දේවල් කියන්න තියෙනවා.කොතරම් පරිසරය සුන්දර වුණත් වැසිබර කාලගුණයක් සහිත නිසා මේ මාර්ගය මේ දිනවල ලිස්සනසුලුයි. එදත් වැසි බර ගතියක් තිබුණා. එදා උදේ අටට විතර මගේ දුරකතනයට දන්නේ නැති අංකයකින් ඇමතුමක් ආවා. එන ඕනෑම ඇමතුමකට පිළිතුරු දෙන එක මගෙ පුරුද්දක්. ඩොක්ටර් දුන්හිඳ ඇක්සිඩන්ට් එකක් වෙලා, ඉක්මනට මොනාහරි කරන්න, හුඟක් තුවාල වුණ ළමයි ඉන්නවා” කියලා කතා කරපු කෙනා කිව්වා. මම ඒ සැණින්ම රෝහලට කතා කරලා කිව්වා, ගිලන් රථ පහක් යවන්න කියලා. ඒ එක්කම අපේ රෝහලේ වෛද්‍යවරුන්ගේ වට්ස්ඇප් ගෘෘප්වලට දැනුම් දෙමින් මම පණිවිඩයක් තිබ්බා, මේ දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාදාමය කඩිනම් කරන්න කියලා. ශෛල්‍ය, ස්නායු, නිර්වින්දන, විකලාංග ආදී සියලුම අංශවල වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට හදිසි අනතුරු ඒකකයට එන්න කියලා දැනුම් දුන්නා. වෛද්‍ය ගිහාන් සහ චින්තක යන වෛද්‍යවරු දෙදෙනා අමතලා පණිවිඩය දැනුම් දෙන ගමන්ම මිනිත්තුවක් ඇතුළත මමත් නිවෙසින් පිටත් වුණා.

අපි එතැනට ගියේ හීයක වේගයෙන්. අපේ වාහනය ලිස්සුවා නම් අපෙත් කෑලි සොයාගන්න බැරි වෙනවා. සයිරන් එක ගහගෙන අපි පුළුවන් තරම් වේගයෙන් අනතුර සිදුවෙලා තිබුණු දුන්හිඳ පැත්තට ආවා. ගිලන් රථයක් කියලා දැනගෙනත් සමහර මිනිස්සුන්ට ඒ අයගේ වාහන ඉවතට ගන්නවත් වගේවගක් නැහැ. මම වාහනයෙන් එළියට ඔළුව දාලා කෑගැහුවා. විනාඩි දහයකින් විතර අනතුර වුණු තැනට යද්දි එතැන සෙනඟ පිරිලා හිටියා. බස් රථය කුඩු වෙලා තිබුණේ. මම උඩට නැඟලා ජනේලයෙන් ඇතුළ බැලුවා. ගමේ කොල්ලෝ ටිකක් යකඩත් එක්ක පොරබඳිනවා. ඒ බස් එකේ ආව තවත් එක් දරුවෙක් යකඩ අස්සේ හිරවෙලා හුස්ම යදිනවා. මට හිතාගන්න බැහැ, බස් එක ඇතුළේ ඒ ළමයා ඉන්න තැනට මම යන්නේ කොහොමද කියලා. යාන්තම් ෆෝන්වල එළියෙන් මට පෙනුණෙ බලන බලන හැම තැනම වීදුරු කටුයි යකඩ කෑලියි. මාව දැකලා එකහඩින් කොල්ලෝ ටික කෑගහන්න ගත්තා, ” ඩොක්ටර් තව එක් ළමයෙක් ඇතුළේ ඉන්නවා” කියලා. එතැනට යන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි වුණත් බස් එක අස්සට රිංගන මෙහෙයුම ආරම්භ කළා.” යැයි වෛද්‍ය පාලිත එක හුස්මට කියාගෙන ගියේ බිහිසුණු ත්‍රාසයජනක චිත්‍රපට ජවනිකාවක් සිහිපත් කරමිනි.




“තැලිලා පොඩිවෙලා කුඩුවෙලා ගිය බස් රථය ඇතුළෙ යකඩ කෑලි, වීදුරු කෑලි ගොඩගැහිලා. ඒ අතරින් මම කොහොම හරි බස් එක ඇතුළට රිංගුවා. වහලය තැළිලා සීට් ගාණටම පාත්වෙලා. උදේ අටහමාර පහුවෙලා තිබුණත් බස් එක ඇතුළේ හුඟක් කළුවරයි. රැස්වෙලා හිටිය ගමේ කොල්ලන්ගේ අත්වල තිබුණ ‍‍ෆෝන්වල එළියත් ජනෙල් ඇතුළෙන් හුගාක් ඇතුළට විහිදෙන්නෙ නැහැ. ඒත් මම හිත් හෝදිසියට ඇතුළටම රිංගුවා. වාහනය තැළිලා නිසා වාහනයේ ඇතුළේ හිටගන්නවත් ඉඩක් නැහැ. දණ ගාගෙන බඩ ගාගෙන මම යාන්තම් දරුවා ඉන්න මානයට ගියා. කඳෙන් බාගයක් එළියේ. ඉවුරටයි බස් එකටයි දරුවා හිරවෙලා හිටියේ, මම යාන්තම් දැක්කා කකුලේ පහළ කොටස බස් එකේ සීට් අස්සේ හිරවෙලා. මුහුණ පස් අතර හිරවෙලා. ගමේ ළමයි සීට් ටික එකින් එක කඩලා දරුවගේ මුණ නිදහස් කරගන්න ඉඩක් අරන් දුන්නම මම දරුවගේ මුහුණ මුදා ගත්තා. කකුල් තිබුණේ අනික් පැත්තට ඇඹරිලා හොඳටම හිරවෙලා. හානිය අඩු වෙන විදිහටයි දරුවා ගන්න ඕන. මේ දරුවා තවත් ටික වෙලාවක් මේ විදිහට අල්ලගෙන ඉඳී කියලා මම අනෙක් අයට කිව්වා. අසල සිටි සියලු දෙනා අත්වලින් ඇදලා කකුල්වලින් තල්ලු කරලා ආසන නිදහස් කළා. මාත් සීට්වලට පයෙන් වැරෙන් ගැහුවා. අලවංගුවලින් සිට් කැඩුවා, අල්ලමු මල්ලිලා කියලා මම සීට් ටිකට පයින් ගැහුවා. සීට් ටික කැඩුවා එක සිට් එකක් කඩලා ටිකක් නිදහස් වුණාට පස්සේ ඒ අවසරයෙන් මම දරුවාගේ කකුල් දෙක නිදහස් කරගත්තා. එය අසීරුයි, වචනවලින් කියන්න බැහැ. අවට කොල්ලෝ කඩිමුඩියේ එක දිගට බස් එක කඩනවා.

සීට් අස්සේ මාව හිරවෙද්දි කොල්ලනේ හරි අමාරුයි කියලා කියද්දි කොල්ලෝ ටික අලවංගුවලින් බස් එකේ මහ යකඩ කඳ ආයෙත් කඩන්න ගත්තා, ඒක මාර වැඩක්. හිරවුණු දරුවා ඇඟෙන් බාගයක් ජනේලයෙන් එළියට ගිහිල්ල නිසා හිමින් ගන්න වෙනවා. මම කොහොම හරි දරුවගේ මුහුණ මුදා ගත්තට පස්සේ ප්‍රවේශමෙන් අත්දෙක මුදා ගත්තා. ඒ අතර එතන හිටපු කොල්ලෝ හිරවුණු පපුව,කකුල් මුදාගන්න සටනක. සිසුවාගේ නහයෙන්, කටින් ලේ ගලනවා. දරුවට තව ටික වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා තේරුම් ගත්ත නිසා මට ඉබේටම කියැවුණා, “ මේ දරුවා මැරෙයි කොල්ලනේ “කියලා. එහෙම කියද්දි ඔවුන්ගේ දෑත් හීයක වේගයෙන් අලවංගු පාරවල් බස් එක අතරින් යනවා, අලවංගුවලින් පුළුවන් තරම් බස් රථය කඩමින් ඉඩ ගන්න උත්සාහ කරද්දි මම කළේ කොහොම දරුවා ප්‍රවේශමෙන් මුදා ගන්න එක. උපරිම ශක්තිය යොදාගෙන, මම වෙහෙස දරමින් දරුවා ළඟට කිට්ටු වුණා.”



කියාගෙන ආ කතාව වෛද්‍ය පාලිත මොහොතකට නතර කර දිගු සුසුමක් හෙළුවේය.


“ඉන් පස්සේ දරුවා මගේ පපුව උඩින් තියා ගත්තා. දරුවගෙ කකුල් දෙක තවමත් සිට් අතර සිරවෙලා. ඒ මදිවට අනික් පැත්තටයි දරුවාගේ කකුල් දෙක තිබුණේ. ඇසිල්ලෙන් කොල්ලෝ යළිත් වැඩ. අලවංගු පාරවල් මගේ හිස අසලින්ම වේගයෙන් ඒ මේ අතරට යනවා. තවත් ඉතිරි වීමට තරම් වෙලාවක් නොමැති නිසාම කොල්ලෝ අලවංගු ගෙන සීට් කැඩුවේ යක්කු වගේ. ඉතිරිවෙලා හිටිය මේ දරුවගේ කකුල් ඇඹරිලා සිරවිලා තිබුණේ යකඩ අස්සේ, “ඉක්මනින් ගමු” කියලා මම කියද්දි කොල්ලන්ගේ දෑත්වල විරිය වැඩි වුණා. වැඩේ හරි, දරුවාගේ කකුල් ගලවා ගැනීමට අපිට හැකි වුණා. තුන්වැනි මෙහෙයුම එහෙම අවසන් වෙද්දි නැවත කොල්ලෝ මටත් තල්ලුවක් දී මාව බස් රථයෙන් එළියට ඇඳ ගැනීමේ මෙහෙයුම පටන් ගත්තා. සිසුවත් අරන් මම කොහොම හරි බඩගාගෙන දණ ගාගෙන වීදුරු කටු යකඩ කෑලි අතරින් බස් රථය අස්සෙන් ආවා.” පුළුවන් තරම් ඉක්මන් මට ඔක්සිජන් එක ඕන” ඒ අතරේ මම කෑගැහුවා. ඒ සැණින් ඔක්සිජන් එක අරගෙන කොල්ලො ටික මගේ ළඟ. මුදාගත් දරුවාට එතැනදීම ඔක්සිජන් දීලා පහළට ඇරියා. පැයක පමණ උත්සාහය ඵල දැරුවේ අවසන් දරුවාත් මුදා ගත්තට පසුවයි. දරුවා එළියට දිලා මට එළියට එන්න විශාල කාලයක් ගත වුණා. ඒත් මම දරුවා වෙනුවෙන් ඔක්සිජන් ලබා දීම දුෂ්කරතා මැද වුණත් කළා. මාව එළියට ගන්න කොල්ලෝ ලොකු උත්සාහයක් ගත්තා. පහළට ඔක්සිජන් එක ගෙනත් මම දරුවට අවශ්‍ය ප්‍රතිකාර කොහොම හරි කළා. මට පිහිට වූ ඒ තරුණයෝ කොහේ සිට පැමිණි පිරිසක්ද යන්න මා දන්නේ නැහැ. දුන්හිඳ අද්දර ගම්වාසීන් විය හැකියි. එහෙත් ඔවුන් රටක් වටිනා රත්තරන් කොල්ලෝ ටිකක්. මම රෝහලේදී මගේ වෛද්‍යවරුන්ටත් කිව්වා, මේ ළමයි අපි අගය කළ යුතුයි කියලා. එහෙම කියද්දී වටේ හිටිය හැමෝම කිව්වා, ඒ මෙහෙයුමට නායකත්වය දුන්න දොස්තර පාලිතවත් අපි අගය කරන්න අවශ්‍යයි කියලා. මට ඇගැයීම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මට සහාය දුන්න ඒ පිරිසට දිය යුතු ගරුත්වය මා ලබා දිය යුතුමයි. අන්තිමට මම ඔවුන් සොයද්දි ඒ පිරිස තමන්ගේ යුතුකම ඉටු කරලා එතැනින් විසිර ගිහින්” වෛද්‍ය පාලිත කීවේ ය.

“ඒ වෙලාවේ මට මගේ ජිවිතය ගැනවත් හිතුණේ නැහැ. හෘදය සැත්කම් දෙකක් කරලා මම ඉන්නේ. පැසසීම්, ඇගැයීම් අපේක්ෂාවකුත් මට නැහැ. මට අවශ්‍ය වෙන්නේ මිනිසත් බව. අපි හුඟක් කල් ජීවත් වෙන්නේ නැහැ. මිනිසත් බව ලැබුණු අපි මිනිසුන් ලෙස අපිට කරන්න පුළුවන් උපරිම මෙහෙය ඉටු කරන්න අවශ්‍යයි. මම මේ වගේ ජීවිත සිය ගණනක් බේරගෙන තියෙනවා. මේක නම් ඇත්තටම ගේමක්, මට උදව් කරපු කොල්ලො ටික කිව්වෙ එහෙමයි. අම්මා මට පෙවූ රං කිරේ හයිය මා ළඟ තාම ඉතිරි වී ඇති බව එදා හිතුණා”නිහතමානී ජීවකයා පැවැසුවේ සිනාසෙමිනි. දරුවන් මුදා ගැනීමෙන් පසු රෝහලේදී ඉටු කෙරුණු කාර්යය ගැන ද ඔහු කීවේය.

“අපි ඉතාම ඉක්මනින් සියලුම දරුවන් වාහනවලින් රෝහලට ගෙනිච්චා. ඒ මෙහෙයුම ඉවරවෙලා මම රෝහලට යද්දි දරුවො තුන්දෙනෙකුට ශල්‍යකර්ම කරලා. සුවවීම ටික ටික සිදුවෙයි. පෙණහලු, වකුගඩුවලට හානිවෙලා තිබුණා. කොතරම් අසාධ්‍ය රෝගීන් ගෙනාවත් අපි ඒ එතැනදිම මිය ගිය දරුවෝ දෙන්නාගේ හැර අනෙක් සියලුදෙනාගේම ජීවිත හානිය වළක්වා ගත්තා.

ඒ වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සුවිශේෂ සේවයක් ඉටු කළා. 1990 ගිලන් රථ සේවාවත් අපේ කාර්ය මණ්ඩලයත් කළ සේවය විශේෂයෙන් මතක් කළ යුතුයි.

මේක අපි හැමෝගෙම සාමූහික ප්‍රයත්නයක්”

රත්නපුර කරන්ගොඩ උපත ලද වෛද්‍ය පාලිත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍ය උපාධිය සඳහා කරාපිටිය වෛද්‍ය පීඨයට තේරී පත් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා ද වන ඔහු බදුල්ල මහ රෝහලේ සේවයට පැමිණ ඇත්තේ මීට වසර විසි පහකට පමණ පෙරය. බදුල්ල මහ රෝහලේ 2010 වසර දක්වා හදිසි ප්‍රතිකාර ඒකකයක් නොතිබූ අතර, සවස 4ට වසා දමන කුඩා ප්‍රතිකාර ඒකකයක් විශාල හදිසි අනතුරු ඒකකයක් බවට පත් කිරීමේ මහඟු මෙහෙවර ඉටු කරන ලද්දේ ද වෛද්‍ය පාලිත විසිනි.

“අපිට ගොඩක් අය උදව් කරනවා. පරිත්‍යාගශීලියෙක් විසින් සුසුම්නාවට හානිවීම වැළැක්වීමට යොදාගන්නා කොළර් 20ක් රෝහලට ලබා දී තිබුණා. මේ දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී අපිට එය විශාල ප්‍රයෝජනයක් වුණා. දැන් දරුවෝ හොඳින් ඉන්නවා. එය අපට විශාල සතුටක්. අපේ රෝහලේ දැන් සියලුම පහසුකම් වගේම අදාළ අංශවලට වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. කඳුකර පළාතක් නිසා රථවාහන ධාවනය කිරීමේදී අනිවාර්යයෙන්ම මාර්ග නීති අනුගමනය කළ යුතුයි. මේ බස් එක අනික් පැත්තට ගියා නම් මීටර් පන්සියයක හයසියයක ලොකු ප්‍රපාතයකට පෙරළෙනවා.

එදා අන්තිම දරුවා ගත්තාට පස්සේ තවත් දරුවෝ ඉන්නවා ද කියලා බස් එක පෙරළලත් අපි බැලුවා. ඒක සුළු පටු දෙයක් නොවෙයි. මට උදව් කරපු දරුවෝ ඒ තරම් ඒ තරුණයෝ ඒ තරම්ම මානුෂික වුණා. ඇතැම් අය තරුණයන්ට බණිනවා. නමුත් මම හිතන්නේ, තාරුණ්‍යය ඇතුළේ ලස්සන මිනිහෙක් ඉන්නවා.

තාරුණ්‍යයට බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. ඒ ළමයි ඇතුළේ තවමත් ජීවත්වෙන ලස්සන මනුස්සයා එළියට ගන්න අපි උත්සාහ කළ යුතුයි.” වෛද්‍ය පාලිත එසේ කීවේ ඒ තරුණයන් පමණක් නොව එම අනතුරේදී අනතුරට පත් දරුවන්ගේ මවුපියන්ට නොමිලේ නවාතැන් පහසුකම් දීමට ඉදිරිපත් වූ තරුණයකු ගැන ද සිහිපත් කරමිනි. ඔහු නමින් ප්‍රියංකර බණ්ඩාරය. අනතුර ගැන දැනගත් සැණින් ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“අද බදුල්ලේ අනතුරට පත්වු දරුවන්ගේ මවුපියන්ට නවාතැන් අවශ්‍ය නම් අමතන්න. නොමිලේ පහසුකම් ලබා දෙමි. ” ඒ, පිළිබඳ අප ප්‍රියංකරගෙන් විමසුවෙමු.

“ගොඩාක් අය මගෙන් ඇහුවා ඇයි එහෙම උදව් කරන්න හිතුණේ කියලා. ජිවිතයේ අසීරු තැන්වලදි මටත් මිනිස්සු පිහිට වෙලා තියෙනවා. ඒ ඇතැම් දරුවන්ගේ මවුපියන් කිහිප වරක් මගේ නවාතැන්පොළට ඇවිත් නවාතැන් අරගෙන ගියා. මට කරන්න පුළුවන් උපකාරය මම ඒ අය වෙනුවෙන් කළා. ඒක මට සතුටක්”වෛද්‍ය පාලිත, ප්‍රියංකර මෙන්ම දරුවන්ට උදව් කිරීමට ඉදිරිපත් වූ තරුණ පිරිස යන සියලු දෙනා පසක් කරන්නේ මිනිසත්කම මොන තරම් සුවඳ ද කියා නොවේද?

සුභද්‍රා දේශප්‍රිය