beruwala-incident

බේරුවල සංචාරක හෝටලයක රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු බව කියන චීන ජාතික පිරිසක් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආශිරිවාදය මැද්දේ පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.


චීන ජාතිකයන් පිරිසක් හෝටලයක රැඳී සිටින බවට ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව අපරාධ අංශයක් බාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සඳහා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානය කරා යොමුකර ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ චීන ජාතික කාන්තාවක ඇතුළු දස දෙනකු සිට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම හෝටලයේ කාමරයක ස්මාට් වර්ගයේ දුරකථන 70 ත් - 80ත් අතර සංඛ්‍යාවක්ද ලැප්ටොප් පරිගනක 10කට අධික සංඛ්‍යාවක්ද තිබී ඇති අතර පොලිසිය වැටලීමත් සමග ඒවා මෙට්ටයක් යට සඟවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.


එම අවස්ථාවේදී වැටලීම් භාර ප්‍රධාන පොලිස් පරීක්ෂවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් එහි සිටි චීන ජාතිකයන් සතුව බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කිරීමේදී එයින් කිසිවකුටත් වීසා බලපත්‍ර නොතිබූ බවත් ඒ අතර කළුතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු සහ එම ප්‍රදේශය භාර විදේශගතව සිටින

තවත් උසස් පොලිස් නිලධාරියකුගෙන් වැටලීම භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඔහු එම චීන ජාතිකයන්ට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් අනෙකුත් පොලිස් නිලධාරින්ද රැගෙන පිටවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු වසංකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනගත් එම නියොජ්‍ය පොලිස්පතිවරයා එම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග ලබාදී ඇත.


ඒ වනවිටත් දිනක් ගත වී ඇති අතර හෝටලය කරා පොලිස් පිරිසක් සමඟ ගියද චීන ජාතිකයන් පිරිස හෝටලයෙන් පලා ගොස් තිබූ බවත් හෝටල් සේවකයන් ගමන් බෑග්ස් රැගෙන සිය ගම්බිම් කරා යමින් සිටි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වනවිට එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නයා මැරුණු අහිකුණ්ටකයෙකු සේ තුෂ්නිම්භූතව සිටිනා බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශනයක්ද ආරම්භ කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.