බදුල්ල නගරයේදී මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ප්රචාරක කටයුතුවල යෙදෙමින් සිටි හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පිරිස සමඟ පොලිස් නිලධාරීන් අතර ඊයේ දින ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය.
බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ පොලීසිය විසින් හිටපු ඇමතිවරයා සහ ඔහුගේ සහායකයින් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති කඩකිරීමක් ලෙස හඳුනාගන්නා ලදී. තවද, ප්රචාරක කටයුතු සඳහා පස්දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වීම ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පොලීසිය පෙන්වා දුන්නේය.
මෙම හේතුව මත ප්රචාරක කටයුතු නතර කරන ලෙස අදාළ පිරිසට උපදෙස් දෙනු ලැබීය.
හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන හරින්ට අයත් අංකය සහිත ටී-ෂර්ට් ඇඳ සිටිනු දක්නට ලැබිණි.මෙම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහායකයින් පොලීසිය සමඟ උණුසුම් වාග් සංග්‍රාමයක නිරත වූහ.
කෝපයට පත් හරින් මහතා මෙසේ ප්‍රකාශ කළේය: "ටීශර්ට් එක තියාගන්න.අලුත් ආණ්ඩුවත් එක්ක ආතල් එකක් ගන්න.මැතිවරණ නීතිය මාලිමාවට එකයි අපිට එකයි වෙන්න බැහැ.මාලිමාවේ ඔක්කොම ඇදන් යනවා ටීශර්ට් ….අපි කැන්වසින් නවත්තනවා.ඡන්දෙ දින්නොතින් ඇවිත් ඔයාව හම්බවෙන්නම්.ඔයාගේ ආශිර්වාදෙ දෙන්නකෝ…."
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරින් මහතා තවදුරටත් මෙසේ පැවසීය: "මැතිවරණ නීතිය වෙන පක්ෂයට එකක් මාලිමාවේ අයට ටීශර්ට් ගහගෙන ඇවිදින්න පුලුවන්.මාලිමාවේ ආණ්ඩුව මාසේ නිසා ඔහොම ආතල් එකක් ගන්න දෙන්න.පොලිසියේ නිළධාරින් අපි ගාවත් ඉදල තියනවනේ .පොලිසිය අපේ ආණ්ඩුව යටතේත් හිටියා.මැතිවරණ නීතිය හරියට කරන්න දීලා යනවා…"
0 Comments