මල්වානේ වඩුවේගම ප්රදේශයේ පුද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණි කාන්තාවකගේ අත්බෑගයේ තිබූ රුපියල් 16,500ක මුදලක් සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව එම ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනියක පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය පවසයි.
එම සම්මුඛ පරීක්ෂණයට පැමිණි කාන්තාවගේ ප්‍රකාශ මත ප්‍රශ්න කිරීමේදී සැකකාර පිළිගැනීමේ නිලධාරිනිය ළඟ තිබූ මුදල් නෝට්ටුවලින් එක් මුදල් නෝට්ටුවක් තමා ළඟ තිබූ මුදල් නෝට්ටුවක් බවට එම කාන්තාව විසින් හඳුනා ගෙන ඇතැයි ද පොලීසිය කියයි.
මේ කාන්තාව එම ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට පැමිණ තමා රැගෙන එන ලද එම අත්ඛෑගය පිළිගැනීමේ නිලධාරිනියගේ මේසය මත තබා ගොස් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට නැවත පැමිණ අත්බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබූ මුදල්වලින් රුපියල් දහසය දහස් පන්සීයක මුදලක අඩුවක් දකින්නට ලැබුණු බව ද පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.
මේ කාන්තාව සම්මුඛ පරීක්ෂණයට එන අතරතුර දෙල්ගොඩ නගරයේ ඒ.ටී.එම්. බැංකු කාඩ්පතින් ලබා ගත් මුදල් නෝට්ටු එම අත්බෑගයේ තිබූ බවද ඇය පොලීසියට පවසා තිබේ.
මේ අනුව මේ සම්බන්ධව මහර මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන එම ඒ.ටී එම්. බැංකු කාඩ්පතින් එදින මුදල් ලබා ගත් ආකාරය පිළිබඳව බැංකු වාර්තාවක් ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා ලද එම පිළිගැනීමේ නිලධාරිනිය විසිදෙහැවිරිදි තරුණියක් වන අතර ඇය මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය කියයි. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.පී.එස්.එල්. මුතුකුමාරණ හා කාන්තා පොලිස් කොස්තාපල් දීපනායක (12581) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(මල්වාන- මහානාම විතානගේ)
0 Comments