පියා පැදවූ ජිප් රථයට යටවීමෙන් පෙරේදා (10) දහවල් 3 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 10, මරදාන දුම්රිය නිල නිවාස පදිංචිව සිටි විහඟ සත්සර නැමැති දරුවායි.
ලිපි ලේඛන කීපයක් ගැනීම සඳහා මරදාන දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයෙන් නිවස වෙත පැමිණ ආපසු යාම සඳහා වාහනය පසුපසට ගැනීමේ දී නිවස තුළ සිටි කුඩා දරුවා එයින් පිටතට පැමිණි අවස්ථාවේ දී ජිප් රථයේ පිටුපස දකුණු රෝදයට යටවී මෙම අනතුර සිදුවූ බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරු රැකියාව කරන 36 හැවිරිදි පියා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත. දරුවාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments