බොල්ගොඩදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් නුවන්ති ඉඳුනිල් හෙට්ටිආරච්චි නමැති 24 හැවිරිදි තරුණියක අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.
“මම නැගිටලා බලන විට දුටුවා දුව ත්‍රිරෝද රථයෙන් එළියට විසිවෙලා බිම වැටිලා ඉන්නවා. පසුව මමත් සැමියාත් දුව උස්සලා ගත්තා. ඇගේ නහයෙන් කටින් ලේ ආවා. ඇය කතා කළේ නෑයි අනතුරින් මියගිය තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇගේ මව ඉන්ද්‍රානි විජේසිංහ මහත්මිය සාක්ෂි දෙමින් පැවසුවාය.
මේ මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී පැවැති අතර බණ්ඩාරගම පොලිසියේ පො.කො.(29100) විජේවීර නිලධාරියා විසින් සාක්ෂි විමසීම කළේය.
මෙසේ මියගොස් ඇත්තේ නො.64, රයිගම්තුඩුව, බණ්ඩාරගම ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ නුවන්ති ඉඳුනිල් හෙට්ටිආරච්චි නමැති 24 හැවිරිදි ඇඟලුම් ආයතනයක රැකියාව කළ තරුණියකි.
මෙහිදී තවදුරටත් සාක්ෂි දුන් සාක්කිකාරිය මෙසේ ද පැවසුවාය.
“මම රැකියාවක් කරන්නේ නෑ. මගේ විවාහක සැමියා හේරත් මුදියන්සේලාගේ රොහාන් කුමාරසිරි යන අයයි. මා මුලින් විවාහ වී සිටියේ හෙට්ටිආරච්චිගේ නුවන්පාල යන අය සමඟයි. මියගිය නුවන්ති ඉඳුනිල් හෙට්ටිආරච්චි ඔහුගේත් මගේත් දරුවා. මියගිය දුවගේ තාත්තා වන නුවන්පාල යන අය දැනට අවුරුදු 24කට පමණ ඉහතදී මියගියා. මම ඉන්පසුවයි හේරත් මුදියන්සේලාගේ රොහාන් කුමාරසිරි යන අය සමඟ විවාහ වුණේ. අප දෙදෙනා විවාහ වී දැනට අවුරුදු 23ක්. මටත්, ඔහුටත් දුවෙකුයි, පුතෙකුයි සිටිනවා. මියගිය දුව අවිවාහකයි.
ඇය බොඩිලයින් ආයතනයේ රැකියාව කරනවා. ඇයට කිසිදු අසනීපයක් තිබුණේ නෑ. පසුගිය 4 වැනි දින මමත්, මගේ සැමියාත්, මියගිය දුවත් සැමියාට අයිති ත්‍රිරෝද රථයෙන් මාලමුල්ල පන්සලට ගියා. ඒ ගියේ උදේ 8.30ට විතර. අපි තුන්දෙනා උදේ 10.00 ට විතර පන්සලට ගියා. අපි ගියේ වෙලාවක් බලා ගැනීමටයි. ඒ වැඩ ඉවර වෙලා අපි පානදුර මුහුදු වෙරළට ගියා, මුහුදු වැලි අරගෙන එන්න. අපි වැලිත් අරගෙන ආපසු ගෙදර එන්න පිටත් වුණා. ත්‍රිරෝද රථය පදවාගෙන ආවේ මගේ සැමියා. අපි ගෙදර එන්න පිටත් වෙන විට උදේ 10.30 විතර ඇති. අපි බොල්ගොඩ නිරෝමි එක දිහාට එන විට අපි අපේ පැත්තෙන් ඉස්සරහට ආවා. ඒ සමඟම ඉදිරියෙන් බස් රථයක් ආවා. ඒ පැමිණි බසයේ ඉස්සරහ අපේ ත්‍රිරෝද රථයේ දුව සිටි පැත්තේ පිටුපස වැදුණා.
ඒ සමඟ ත්‍රිරෝද රථය පෙරළුණා. මාව ඉස්සරහට වැටුණා. පසුව මම නැගිටලා බැලුවා. එවිට මම දුටුවා දුව ත්‍රිරෝද රථයෙන් එළියට විසිවෙලා බිම වැටිලා ඉන්නවා. පසුව මමත්, සැමියාත් දුවව උස්සලා ගත්තා. ඇයගේ නහයෙන් කටින් ලේ ආවා. ඇය කතා කළේ නෑ. ඒ සමඟම පාරේ පැමිණි වෑන් රථයක් නතර කර දුවව දමාගෙන බණ්ඩාරගම රෝහලට ආවා. රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දී හොරණ රෝහලට ගිලන් රථයෙන් එව්වා. මමත් ගිලන් රථයෙන්ම ආවා. රෝහලේදී ප්‍රතිකාර ලබා දුන්නා. එසේ ප්‍රතිකාර ලබාදෙන අතරදීම දුව මියගියා.
හේරත් මුදියන්සේලාගේ රොහාන් කුමාරසිරි (52) මහතා-
මගේ ත්‍රිරෝද රථයෙන් බිරියත්, දුවත් සමඟ මාලමුල්ල පන්සලට ගියා. හාමුදුරුවන් හමු වී ගෙදර ආරක්ෂා කරන වැඩක් කතා කරගෙන ආපසු එන්න ආවා. එසේ එද්දී හාමුදුරුවන් මුහුදු වැලි ඉල්ලපු නිසා අපි පානදුරට ගොස් මුහුදු වැලිත් අරගෙන ආවා. එසේ එද්දී බොල්ගොඩ පාලම පසුකොට බණ්ඩාරගම දෙසට එන විට මම මගේ පැත්තේ අයිනෙන් ආවා. එසේ එන විට ලංගම බස් රථයක් වේගයෙන් මගේ පැත්තට ආවා.
මම තවත් වමට කපලා පාරෙන් පිටටම ගත්තා. එසේ ගනිද්දී වේගයෙන් ආව බස් රථය මගේ ත්‍රිරෝද රථයේ දුව සිටි පිටුපස පැත්තේ වැදුණා. වැදිලා ත්‍රිරෝද රථය පෙරළුණා. මම ත්‍රිරෝද රථයෙන් බැස බලන විට දුව එළියේ වැටිලා හිටියා. මම ඉක්මනට දරුවා ඔසවාගෙන ආපු වාහනයක් නවත්වාගෙන බණ්ඩාරගම රෝහලට ගෙනාවා. රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබාදී ගිලන් රථයෙන් හොරණ රෝහලට මාරු කර එව්වා. අපිත් ඒ සමඟම හොරණ රෝහලට ආවා. හොරණ රෝහලට ඇතුළු කළ පසු වෛද්‍යවරු බලා ප්‍රතිකාර දුන්නා. ඒ වනවිට දරුවා කතා කළේ නෑ. නහයෙන් කටින් ලේ ආවා. වෛද්‍යවරු අපට පැවසුවා දරුවා මියගොස් ඇති බවට.
මෙහිදී සාක්ෂි දුන් බස් රථයේ රියැදුරු වන අජිත් කෝනාර (48) -
‘මම ලංගම රියදුරෙක් වශයෙන් වසර 19ක සිට බස් රථයක වැඩ කරනවා. මේ බස් රථය ධාවනය කරන්නේ දිනපතා බණ්ඩාරවෙලළින් ගමන් වාරය ආරම්භ කර පානදුරට පැමිණ, නැවත බණ්ඩාරවෙළ දක්වා ධාවනය කරනවා. මම දින 20ක් බස් රථය ධාවනය කරනවා. පසුගිය 04දා බණ්ඩාරවෙල සිට පානදුර දක්වා ගමන් කරද්දී උදේ 11.00ට පමණ බොල්ගොඩ ප්‍රදේශයේදී පාරේ වම් අත පැත්තේ මාර්ග සංවර්ධනය අධිකාරියේ සංවර්ධන කටයුත්තක් සඳහා මාර්ග බාධක යොදා තිබුණා. එම ස්ථානයේදී මම මගේ දකුණු පැත්තෙන් බස් රථය ධාවනය කළා. ඒ ස්ථානයේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්, එන දිශාව අනුව නවත්වන වාහන හැසිරවීමක් කළේ නෑ. එම නිසා මම ඉදිරියෙන් වාහන නැති නිසා බස් රථය දකුණු පැත්තෙන් ධාවනය කළා. එම දුර ප්‍රමාණය මීටර් 12ක් පමණ ඇති. මම එනතුරු යතුරුපැදි දෙකක් දකුණු පැත්තේ නවත්වාගෙන තිබුණා. මම බස් රථය ඉදිරියට ගමන් කර මාර්ග බාධකය පසුකර වමට හරවන විටදීම එකවරම ත්‍රිරෝද රථයක් යතුරුපැදි දෙක ඉස්සර කරගෙන ඉදිරියට ආවා. බස් රථය දුටු සැනින් ත්‍රිරෝද රථය ඔහුගේ වම්අත පැත්තට ගත් අතර
එසැනින්ම මගේ බස් රථයේ දකුණුපස වැදී පෙරළී ගියා. මම බස් රථය එතැනම නවතා බැස බලන විටදී තුවාලකරුව, පැමිණි වාහනයක දමාගෙන හොරණ දෙසට ගෙන ගියා. බස් රථය එහෙමම නතර කරගෙන සිටින විටදී මද වේලාවකින් බණ්ඩාරගම පොලිසිය එතැනට ආවා.
පැමිණි නිලධාරින් ස්ථානය පිළිබඳ සටහන් දමාගෙන මාවත් බස් රථයත් පොලිසියට රැගෙන ගියා. ඉන් අනතුරුව බණ්ඩාරගම රෝහලට මාව ඉදිරිපත් කළා.
වෛද්‍ය පරීක්ෂණයකට ගෙන ගියා. මේ සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙපමණයි. පසුව දැනගත්තා ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් ඇති බවට.
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වූ අතර බස් රථය සහ ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ අයගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ බරපතළ තුවාල නිසා අභ්‍යන්තර රුධිර වාහනය වීම මත මේ මරණය සිදුවී ඇති බව හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් නිගමනය කළේය.
( හල්තොට - විනීතා මානෙල් ගමගේ)
0 Comments