boralesgamuwa-incident

මෝටර් රථයේ පැති කණ්ණාඩියේ අතහැප්පුවයි උරණ වී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකුට පහරදී මෝටර් රථයෙන් යට කර මරා දැමීමට උත්සාහ දැරූ බව කියක 24 හැවිරිදි වියේ පසු වන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.


අනතුරින් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේ පදිංචි 53 පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.බරපතළ තුවාල ලද පුද්ගලයා ඉකුත් 01 වැනි දින බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල නීලම්මහර ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී සැකකරු පදවාගෙන යමින් සිටි මෝටර් රථයේ වම් පස පැති කණ්ණාඩිය අතේ වැදි ඇතැයි පොලිසිය කියයි.


එම අවස්ථාවේදී සැකකාර ව්‍යාපාරික රියැදුරා මෝටර් රථය නවතා එයින් පිටතට පැමිණ එකවරම තුවාල ලද පදිකයාට පහර දී ඇති අතර දෙදෙනා අතර මද වේලාවක් ගුටි බැට හුවමාරුවක්ද සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව පහර කෑ පදිකයා එම ස්ථානයෙන් පිටවීමේදී මෝටර් රථය පණ ගන්වා ගත් සැකකාර ව්‍යාපාරික රියැදුරා මෝටර් රථය එකවරම ඉදිරියට ගෙන පදිකයා දෙසට මෝටර් රථය පදවා ඔහු යටකර හප්පා ගොස් තිබූ බව පොලිසිය කියයි.



බරපතළ තුවාල ලද පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අනතුර සිදුකළ ස්ථානයේ සිදුකළ විමර්ශනවලදී සැකකාර ව්‍යාපාරිකයා පදිකයාට පහර දෙන අයුරු සහ මෝටර් රථයට යට කර මරා දැමීමට උත්සාහ දරන අයුරු දැක්වෙන සියලුම ක්‍රියාකාරකම් ඒ ආසන්නයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.


අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරික රියැදුරා පිළියන්දල මාවිත්තර පදිංචිකරුවෙකි.සැකකරු පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරිම, අපරික්ෂාකාරී රිය ධාවනය, රිය අනතුරක් වළක්වා නොගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට තැත් කිරිම යන චෝදනාව යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)