bribe-commision

විමර්ශන ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය ප්‍රකාශ ලබා දීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පෙනී නොසිට එම කොමිෂන් සභාව මග හරිම්න් සිටින දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරින්ට නැවත වතාවක් සිහි කැඳවීම් නිකුත් කිරීමට අල්ලස් කොමිසම සූදානම් වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැවැරී ඇති බලතල මත එම දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට නැවත වතාවක් සිහිකැඳවීම් නිකුත් කරනු ඇති බවත් එයට ප්‍රතිචාරනොදක්වන්නන් පිළිබඳව අධිකරණය දැනුවත් කර සිතාසි ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසුවේය.




අධිකරණය සිතාසි නිකුත් කර පසුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පෙනී නොසිටින දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව වරෙන්තු ලබා ගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ද ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඒ සම්බන්ධ විමර්ශන ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් සහායක් නොදුන් දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව මෙම පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.




දේශපාලනඥයන් සහ නිලධාරීන් රැසකට එරෙහිව දූෂණ සහ අසමානාත්මතා පිළිබඳ පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇතත් චෝදනා එල්ලවී තිබෙන දේශපාලනඥයන් නිලධාරීන් අල්ලස් කොමිසමට විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සහායක් ලබා නොදීම හේතුවෙන් විමර්ශන අවසන් කිරීමට විමර්ශකයන් අපොහොසත් වී තිබෙන බව ද නිලධාරියා ප්‍රකාශ කළේය.


අල්ලස් කොමිසමේ විමර්ශන ප්‍රමාද වීමට මෙය හේතුවක් වී තිබෙන බව ද ඔහු පැවැසුවේය. විමර්ශන අවසන් කර ඇති පැමිණිලි රැසක් සම්බන්ධයෙන් තවමත් චෝදනා ගොනු කර නොමැති බව අනාවරණය වී ඇති බවත් විමර්ශන අවසන් කර

එලෙස චෝදනා ගොනුකර නොමැති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් චෝදනා ගොනු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට කොමිසම උපදෙස් දී ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.


නීති විරෝධීව වත්කම් උපයා ඇති දේශපාලනඥයන් සහ නිලධාරීන් බොහෝ දෙනකු එම නීති විරෝධී වතක්ම ලබාගෙන ඇත්තේ සිය සමීපතමයන්ගේ නම්වලට බව බොහෝ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.
(රංජිත් පද්මසිරි - ද සන්ඩේ ටයිම්ස්)