chndima-sirithunga-boss

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස 30දා රාජකාරි භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් 40ක පමණ පිරිසක් නිවාඩු ලබා නොගෙන කොළඹ ගොස් ඇතැයි වාර්තාවේ.ඔවුන් එම ගමන සඳහා භාවිත කර ඇත්තේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් බස් රථයක් බව පැවැසේ.



දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ගිය අප එහි ඉතිරිව සිටි නිලධාරිනියකගෙන් අනෙකුත් සේවක සේවිකාවන් පිළිබඳ විමසූ විට ඇය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාරුවීමක් ලැබ කොළඹ ගිය බැවින් ඔහුට සුබ පැතීමේ උත්සවයට සහභාගී වීමට කණ්ඩායමක් කොළඹ ගිය බවයි. තවත් පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ උඩු මහලේ ශාලාවක පිරිත් පින්කමට සහභාගී වී සිටින බව ද ඇය කීවාය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ද පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් පිළිබඳ ඒකකය සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි.




මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රාස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.මහ මැතිවරණය ප්‍රකාශ කර තිබිය දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්ථාන මාරු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වන අතර එවැනි අවස්ථාවකට රජයේ නිලධාරීන් තමන්ගේ සේවය පැහැර හරිමින් රාජකාරි කාලය යොදා ගනිමින් කොළඹ දක්වා යාම සහ ඒ වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස් රථයක් භාවිත කිරීම ද පොදු දේපළ අයථා පරිහරණය කිරීමක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.


ට්‍රාස්පේරන්සි ආයතනය මැතිවරණ කොමිසම වෙත ලබාදුන් ලිඛිත පැමිණිල්ලේ තවදුරටත් දක්වා ඇත්තේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතාගේ තනතුරේ වැඩ ආවරණය කිරීමට පත්කර ඇති වෛද්‍යවරියක දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ එහි

ඉතිරිව සිටි සේවකයන් සුළු පිරිසක් ද සහභාගී කරවාගෙන පිරිත් දේශනයක්ද පවත්වා ඇති බවයි. මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ද පැවැත්වෙන දිනයක තම ආගමික විශ්වාස වෙනුවෙන් රාජකාරී කාලය කැපකිරීම් ද පොදු දේපළ අයථා පරිහරණය කිරීමක් බව ට්‍රාස්පේරන්සි ආයතනය පෙන්වා දී ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයකු කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමක් හිටපු පළාත් අධ්‍යක්ෂවරයාට සුබ පැතීමට කොළඹ ගියේ රජයේ උසස් නිලධාරීන්ට එසේ සුබ පැතීමට යාමේ සම්ප්‍රදායයක් අනුව බවයි. එහෙත් එය වරදක් බව තමන්ට දැන් තේරුම් ගොස් ඇති බව ද කීය.
 සිරංගිකා ලොකුකරවිට