custom-vehicle-two-parks

මෙරටට ගෙන්වන ලද වාහන 587ක් විවිධ හේතුන් මත අත්අඩංගුවට ගෙන ස්ථාන දෙකක රඳවා තිබෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මින් වාහන 397ක් රේගුව විසින් කුලී පදනමින් ලබා ගත් SALT අංගණයේ රඳවා තිබෙන බවත්, ඉන් වාහන 73ක් අධිකරණ කටයුතුවල නඩු භාණ්ඩ වශයෙන් පවතින බවද පෙන්වා දෙයි.




වාහන 168ක කොටස් එකලස් කර බද්ධ කරන ලද වාහන බවත්, ඒවා මාර්ග ධාවනයට නුසුදුසු බවට හඳුනාගෙන තිබෙන බවද සඳහන් කරයි.ඒවායේ වාහනමය වටිනාකමක් නොමැති බවත්, ඒ අතරින් වාහන 134ක කොටස් ගලවා විකිණීමටත්, ඉතිරි කොටස් නැවත පාවිච්චි කළ නොහැකි වන ලෙස තලා යකඩ වශයෙන් විකිණීමට කටයුතු කරමින් පවතින බවද පෙන්වා දෙයි.

තවත් වාහන 34ක් රජයේ කාර්මික විද්‍යාලවල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආකෘති ලෙස පාවිච්චි කිරීමට ලබා දීමට රජයේ අනුමැතිය ලබා දීමට කටයුතු කරමින් පවතින බවද සඳහන් කරයි. වාහන 64ක් රජයේ රස පරීක්ෂණ වාර්තා කැඳවීමට කටයුතු කර තිබෙන බවත්,

මේවායෙන් බොහෝමයක් චැසි අංක හා එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර තිබෙන බවත්, මේ නිසා නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ ගැටලු ඇති වන බවත්, තවත් වාහන 92ක් පිළිබඳව රේගු විමර්ශන සිදුවන බවද පෙන්වා දෙයි.


හම්බන්තොට වරායේ වාහන 190ක් රඳවා තිබෙන බවත්, ඉන් වාහන 07ක් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම නිසා රාජසන්තක කර තිබෙන බවද සඳහන් කරයි.ඉතිරි වාහන ආනයනකරුවන් විසින් තීරුබදු නොගෙවීම,ණයවර ලිපිවලට අදාළ ගැටලු නිසා බැංකු විසින් නිදහස් නොකිරීම, වරාය ගාස්තු නොගෙවීම යන කරුණු මත රඳවා තිබෙන බවත්, අදාළ ගාස්තු ගෙවා එම වාහන කඩිනමින් නිදහස් කර ගන්නා ලෙස ආනයනකරුවන්ට දැනුම් දී තිබෙන බවද රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.නිෂ්කාශනය නොකරන වාහන රාජසන්තක කිරීමට රේගුව ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද රේගු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (06දා) සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)