dambulla-b-onion

 දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසිය දක්වාත්, විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා ඊයේ (20) වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.ඉන්දියාව, පාකිස්ථානය, ඕලන්දය තුත්තුකුඩි, ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක් වරම දේශීය සහ විදේශීය ලොකු ලුනු මිල ඉහළ යෑමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.




ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (20) උදෑසන දේශීය ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රුපියල් තුන්සිය අසූවත්, හාරසීයත් අතර තොග මිලක් පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද, පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලූනු අස්වනු මිලදී ගත් ව්‍යපාරිකයන් එම ලූනු සඟවා තබාගෙන මිල ඉහළ දැමීම සිදුකර තිබෙන බව ජනතාව ආර්ථික මධ්‍යස්ථානය තුළදීම පෙන්වා දෙන ලදී.


මිල පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී ලූනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ

ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බව පිළිගැනීම විශේෂත්වයකි.


විදේශීය රටවලින් ලොකු ලුනු ගෙන්වන ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩා සංකීර්ණයේ ව්‍යපාරිකයන්ගෙන් ලූනු මිල ඉහළ යෑම පිළිබඳව විමසීමේදී කියා සිටියේ, විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සීමා වී ඇත්තේ එම රටවලද නිෂ්පාදනය අවම වීම නිසාවෙන් බවය.කෙසේ වෙතත් පාකිස්ථානය සහ ඉන්දියාවෙන් තවත් මාස කිහිපයක් ගතවෙද්දී ලොකු ලූනු අස්වනු නෙළීම ආරම්භ කිරීම සිදුවන බවත්, ඒ අනුව තව මාසයක් පමණ ගත වෙද්දී විදේශීය ලොකු ලූනු මිල පහත යනු ඇති බව විශ්වාසය පළකරති.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූනු සහ විදේශීය ලොකු ලූනු මිල මෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී පාරිභෝගික ජනතාවට ලොකු ලූනු කිලෝවක් රුපියල් පන්සියයත්, 600 ත් අතර මිලකට අලෙවි වනු ඇති බව තොග ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහුද කියා සිටියේ, මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මක භාවයෙන් ඇති ලූනු නොමැති වීම නිසා හොඳ ලූනු වලට ඉහළ ඉල්ලුමක් පවතින බවය.කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් යද්දී විදේශ රටවලින් ලොකු ලූනු ඇණවුම්කර තිබෙන බවත්, ඒවා ලැබෙද්දී මිල පහත වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
(කාංචන කුමාර ආරියදාස)