කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සහ කලාවැව් රක්ෂිතයේ සැරිසැරූ දළ යුගලයකින් හෙබි දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් ඊයේ (28) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඬියාගල, පලාගල, හිගුරුවැව ප්‍රදේශයේ නිවෙසක් අසල ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අනවසර විදුලි රැහැන සවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කළේය.කහල්ල පල්ලකැලේ අභය භූමියේ සියඹලන්ගමුව, කලාවැව සහ බළලු වැව් රක්ෂිත තුළ කාලයක සිට සැරිසැරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදී ද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතළ තුවාල සිදුව ප්‍රතිකාර ලැබූ බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දැනට කලාවැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු – 1 බව පරිසරවේදීහු පෙන්වා දෙති. රේවත, බරණ, දීඝදන්තු 1, දීඝදන්තු 2 මේ හතර දෙනා කලා වැව් රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය නිජබිම බවට පත් කර ගනිමින් ජීවත් වූ බවත් එයින් දීඝ දන්තු 2 හස්තියා වෙනත් ඇතකුගේ පහරදීමකින් මියගිය බවට විශ්වාස කරන බවත් පරිසරවේදීහු මෙහිදී පෙන්වා දුන්හ.
මේ වන විට රේවත, බරණ, දීඝදන්තු 1 අකාලයේ ජීවිතක්ෂයට පත්වූයේ අනවසර විදුලි රැහැන්වල පැටලී බවත්, කලා වැව, කහල්ල පල්ල කැලේ සැරිසැරූ පිරිපුන් දළ යුගලකින් සමන්විත සද්ධන්ත ඇත්තු තිදෙනා එකම ආකාරයෙන් අනවසර විදුලි රැහැන්වල පැටලී ජීවිතක්ෂයට වන තෙක් අදාළ අංශ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පරිසරවේදීහු චෝදනා කරති.
0 Comments