පොලිස් නිලධාරියකු රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ රාජකාරියට සාපරාධි බලහත්කාරය පෑමක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12) නියෝග කළේය.
වෑන් රථයේ හිමිකරු වන, කොළඹ පදිංචි පතිරණ කුමාරගේ උපුල් කුමාර නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
දෙමටගොඩ පොලිසියේ කොස්තාපල් (71131) ඒකනායක මහතා මවුන්ට්මේරි පදික මාරුවේ රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේ තම රාජකාරියට බාධා කරමින් සිදු කළ බලහත්කාරය පිළිබඳ දෙමටගොඩ පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්රාත්වරිය
මේ නියෝගය දුන්නාය. මේ නිලධාරියා මවුන්ට්මේරි පදිකමාරුවේ පැය 16.00 සිට පැය 19.00 දක්වා රාජකාරියේ යෙදී සිටි බවත්, ඒ අවස්ථාවේ වෑන් රථයක් බොරැල්ලේ සිට දෙමටගොඩ දක්වා ධාවනය වී තිබූ බවත්, මහා මාර්ගයේ කාර් රථයක් එම අවස්ථාවේ අනතුරට පත් වී තිබීම නිසා වෑන් රථය නවත්වන ලෙස පැමිණිලිකරුට දැන්වූ බව අධිකරණයට දැනුම් දුනි. ඒ අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියා විසින් වෑන් රථයේ රියැදුරුගෙන් වෑන් රථයේ බලපත්රය ඉල්ලා සිටි අවස්ථාවේ තමාට බැණවැදී තර්ජනය කළ බව පැමිණිල්ලේ සඳහන් කර තිබූ බව දෙමටගොඩ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
වෑන් රථ හිමිකරු විසින් “තොට මගේ ලයිසන් එක දෙන්නේ නැහැ. හිටපන් වෑන් එක අරිනකන්” යනුවෙන් පොලිස් නිලධාරියාට බැණවැදුණු බව දෙමටගොඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ සිද්ධියට අනුව අදාළ නිලධාරියා ජංගම දුරකනනය මඟින් දෙමටගොඩ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව පොලිසි ස්ථානයේ සිට පැමිණි
තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට බැණවැදී ප්රචණ්ඩකාරිව හැසිර තිබුණු බවද දෙමටගොඩ පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය. මෝටර් වාහන පනතේ 135 වගන්තියට අනුව රාජකාරි අවස්ථාවේදී බලපත්රය ලබාදීම රියැදුරුගේ වගකීමක් බවත්, එසේ නොකර ප්රචණ්ඩකාරි ක්‍රියා සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් දෙමටගොඩ පොලීසිය අධිකරණයට පෙන්වා දුනි.
(කල්පනී අබේසිංහ)
0 Comments