dikwella-murder

දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල දොරමුරේ පාරේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලය අසලදී ඊයේ (21) අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

මෙම වෙඩිතැබිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්ගල ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි රොෂාන් සංජීව නමැති වෘත්තියෙන් රියැදුරකු වන විවාහක පුද්ගලයකු බව පොලිසිය සිදුකර ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ඊයේ (21) අලුයම රැකියාව සඳහා සිය නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නිවසට ආසන්නයේ පිහිටි පශු වෛද්‍ය කාර්යාලය අසලදී මාර්ගයේ සැඟව සිටි කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඝාතකයන් විසින් එල්ල කර ඇති වෙඩි පහර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වලස්ගල ප්‍රදේශයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහු හා පැවති විරසයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.



වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ සිදුකළ පරීක්ෂාවේදී එහි තිබී ටී-56 හිස් උණ්ඩ කොපු හතරක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය මහෙස්ත්‍රාත් පරික්ෂණය ඊයේ දහවල් සිදු කොට ඇති අතර මේ වන තෙක් වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් හා මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ ගේ අධීක්ෂණය යටතේ දික්වැල්ල පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර  පරීක්ෂණ සිදුවේ.
(ජයසිරි පේදුරුආරච්චි - මාතර)