දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයෙකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂිකාවක් ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම අපේක්ෂිකාවගේ බෑණා සහ ත්‍රිරෝද රථ රියැදුරෙකු වන සැමියාද වන බවත්,
සැකකාර අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා වයස අවුරුදු 45/55 අතර පසුවන්නන් බවත්, වයස සෙසු සැකකරුවන් අවුරුදු 19/23 අතර පසුවන සෙසු සැකකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගැනීමෙන් පසු සම්බාහන කටයුත්තක් සඳහා බම්බලපිටිය රජයේ මහල් නිවසකට පසුගිය 8වැනිදා පැමිණ තිබූ වෛද්‍යවරයා, එම කටයුත්ත සඳහා සූදානම් වීමේදී යාබද කාමරයක සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු උල් පිහියක් රැගෙන එම ස්ථානයට කඩා පැන ජංගම දුරකථනයෙන් වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර බිය ගන්වා මුදල් ඉල්ලා ඇති බවට පැමිණිලිකරු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඊට බිය වූ වෛද්‍යවරයා ඔන්ලයින් මාර්ගයෙන් කොල්ලකරුවන් ලබා දුන් ගිණුමකට රුපියල් ලක්ෂ 10ක මුදලක් බැර කර ඇති අතර, වෛද්‍යවරයා සන්තකයේ තිබූ රුපියල් 15,000/ = ක මුදලක්ද කොල්ලකරුවන් බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.ඒ අයුරින් පැයකට ආසන්න කාලයක් එහි රඳවාගෙන සිටි වෛද්‍යවරයාව කොල්ලකරුවන් මුදා හැර ඇති අතර, එදිනම රාත්‍රියේ නීතිඥවරයකු සමග පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබිණි.
පැමිණිල්ලට ලද වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම නිවස කරා ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී නිවසේ ඉදිරිපස දොරේ යතුර දක්නට ලැබූ තිබූ අතර, නිවසේ කිසිවෙකුත් නොසිටීම හේතුවෙඟ් ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේදී එම නිවස අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 3500/= ක මුදලකට දිනකට ලබාගෙන තිබූ බවට අනාවරණය විය.
අනතුරුව දුරකථන විශ්ලේෂණ සහ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථයකින් ගමන් කරන අයුරු අනාවරණය කරගෙන තිබේ.ඒ අනුව සැකකරුවන් පිරිස රත්මලාන, පිළියන්දල ආදී ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයාගෙන් ඔන්ලයින් හා බැර කරගත් මුදල් පිළියන්දල සූවාරපොල ප්‍රදේශයේ පදිංචි නැන්දනියගේ ගිණුමට බැර කළ බවට එහි සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ජන අරගල සංවිධානයේ අපේක්ෂිකාව මෙන්ම, කොල්ලකරුවන්ට පලායාමට උදව් කළ ඇයගේ සැමියා වන ත්‍රිරෝද රථ රියැදුරද අත්අඩංගුවට ගෙන තිබේ.වෛද්‍යවරයාගේ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවුදෙනා මීට පෙරද මෙයාකාරයෙන්ම ඇප් එකක් මාර්ගයෙන් විවිධ පුද්ගලයන් ගෙන්වාගෙන කොල්ලකෑම්වලට සම්බන්ධ වුවන් බවට අනාවරණය විය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිර්මට නියමිතය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments