doctor-spa-money

 බම්බලපිටිය ප්‍රදේශයේ මධ්‍යස්ථානයකට පැමිණි වෛද්‍යවරයකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිවුදෙනකුට ඇපදීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ලබන 25 වැනිදා තෙක් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට ඊයේ (18) නියම කළේය.






සිද්ධිය වූ අවස්ථාවේ සැකකරුවන් එම ස්ථානයේ සිටියේ ද? යන්න තහවුරු කර ගැනීම සඳහා පැමිණිලිකාර වෛද්‍යවරයා ඇඳ සිටි බව කියන තුවායක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එහි සැකකරුවන්ගේ රෝම කූප ඇද්දැයි තහවුරු කරන ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.මෙලෙස ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට නියම කරන ලද්දේ සුදාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් යුෂුප්, රාජපක්ෂගේ අශේන් හසරංග, දිමුතු එරංග නමැති සැකකරුවන්ගේය.


සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ඔන්ලයින් ක්‍රමයට මුදල් කොල්ල කෑ බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සුදාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් යුෂුප්, රාප්පක්ෂගේ අශේන් හසරංග, දිමුතු එරංග නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක වූ ප්‍රියන්ති මාලා ප්‍රනාන්දු නමැත්තිය

සහ ඇගේ සැමියා වන ඇතුලත්මුදලිගේ චමින්ද පුෂ්පකුමාර නමැත්තා අධිකරණයේ පෙනී සිටියහ.


කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු කළ පැමිණිල්ලකට අනුව බම්බලපිටිය පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද සමඟ සිද්ධිය වූ අවස්ථාවේ පැමිණිලිකාර වෛද්‍යවරයා ඇඳ සිටි බව කියන තුවායක් ඇතුළු නඩු භාණ්ඩ කීපයක් ඉදිරිපත් කරමින් සිද්ධිය වූ අවස්ථාවේ සැකකරුවන් අදාළ ස්ථානයේ සිටියේද? යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ තුවායේ සැකකරුවන්ගේ රෝම කූප ඇද්දැයි තහවුරු කෙරෙන ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා තුවාය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන්නැයි ඉල්ලා සිටියහ.


සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරංග බණ්ඩාර මහතා කරුණු දක්වමින් ඇප පනතේ ප්‍රතිපාදන අනුව සැකකරුවන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවන ලබන 25 වැනිදා විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කළේය.
(රෝෂන් තුෂාර)