කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයගේ ඡන්ද වැඩවලට උදව් කිරීම සියයට 70 කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ආර්ථික අර්බුදය, දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරළා ප්රතිලාභ ලබා ගත නොහැකිය,
යන සිතුවිල්ල යනාදී කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. මේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයන්ගේ ප්රචාරක කටයුතුවල ඇල්මැරුණු තත්වයක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය. විදේශ රටවල දානපතීන් අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩට උදව් කිරීම ද බොහෝ සෙයින් අඩු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.සාමාන්‍යයෙන් වෙනදා මැතිවරණවල දී ව්‍යාපාරිකයන් ඇතුළු ධනපතියෝ දහස් සංඛ්‍යාත පිරිසක් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට වියපැහැදම් කරති.මේ අතර අධික වියදම් හේතුවෙන් අපේක්ෂකයන් පෞද්ගලිකව මැතිවරණ ප්රචාරක කටයුතුවලට වියදම් කිරීම ද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
මේ තත්වය මත ප්රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීම ද දෙගුණයකින් පමණ අඩු වී ඇතැයි පවසන රෝහණ හෙට්ටිආරච්චි මහතා බොහෝ අපේක්ෂකයන් සිය ප්රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදා ගෙන ඇති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.
වියදම් සීමා පැනවීමද ප්රචාරක දැන්වීම් සඳහා මුදල් වැය කිරීම අඩු වීමට තවත් එක් හේතුවක් බව දැනගන්නට ඇත. අපේක්ෂකයන් ගෙයින් ගෙට ගොස් ප්රචාරක කටයුතු කිරීම වෙනදාට සාපේක්ෂව වැඩිවුණු තත්වයක් පෙනෙන්නට ඇති බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000 දෙනාගෙන් සෘජුව ප්රචාරක කටයුතුවලට යොමු වී සිටින්නේ 7000 කට ආසන්න පිරිසක් පමණක් බව පෙනී යන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments