ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එලෝන් මස්ක් හට නව "රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව" මෙහෙයවීමේ වගකීම පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනවාරියේ සිට ඇමරිකාව බාරගන්නට සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් සිය පාලක දෙපාර්තමේන්තු නම්කරමින් සිටි අතර
එය ඔහුගේ කණ්ඩායමට කරන ලද නවතම පත්කිරීමයි.
රිපබ්ලිකන් ප්‍රාථමික අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එලොන් මස්ක් මෙම කටයුත්ත මෙහෙයවනු ඇති බව ට්‍රම්ප් පවසයි.
එය "රාජ්‍ය නිලධාරිවාදය විසුරුවා හැරීමට" සහ වියදම් කප්පාදු කිරීමට "රජයෙන් පිටත සිට උපදෙස් සහ මඟපෙන්වීම" සපයනු ඇතැයි කියවේ.
මීට අමතරව ෆොක්ස් නිවුස් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පීට් හෙග්සෙත් ට්‍රම්ප් පාලනයෙහි ආරක්ෂක ලේකම් ලෙස තෝරාගෙන ඇති අතර ජෝන් රැට්ක්ලිෆ් ජාතික බුද්ධි අධ්යක්ෂ ලෙස තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපද මැතිවරණයෙන් සතියකට පසු, රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ පාලනය අත්පත් කරගෙන ඇති අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් අත්කරගෙන සිටී.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩිම වියදම සිදුකළ එලෝන් මස්ක් රාජ්‍ය කාර්යක්ෂමතාවය සහ අයවැය කප්පාදු කිරීම් පිළිබඳ කාර්යභාරයක් ගැන ඔහුගේ උනන්දුව පිළිබඳව නිතර ප්‍රසිද්ධියේ කතා කර ඇත.
පසුගිය මාසයේ නිව්යෝක් හි පැවති ට්‍රම්ප් රැලියක දීද මේ ගැන සඳහන් කර තිබුණි.
X හි මෑත පළ කිරීමක මස්ක් ලියා ඇත්තේ "රජයේ බොහෝ නාස්තිය සහ අනවශ්‍ය නියාමනයන් ඉවත් කළ යුතුය" යනුවෙනි.
තවත් පළ කිරීමක ඔහු සඳහන් කර ඇත්තේ: "ක්‍රියාමාර්ග නොගතහොත් ෆෙඩරල් රජයේ වියදම් රට බංකොලොත් කරනු ඇත." යනුවෙනි.
රජයේ සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවද ඔහු නිතර යෝජනා කර ඇත.
එලෝන් මස්ක්ගේ රැකියාව සිදුකරන ස්වරූපය තවමත් පැහැදිලි නැත.
පත්කිරීම තහවුරු කරමින් නිකුත් කළ ප්‍රකාශයක ට්‍රම්ප් පවසන්නේ රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව "රජයෙන් පිටත සිට උපදෙස් සහ මඟපෙන්වීම් සපයනු ඇති" බවයි - එමගින් අදහස් වන්නේ එය විධිමත් ෆෙඩරල් රජයේ ව්‍යුහයන් තුළ නොපවතිනු ඇති බවකි.
0 Comments