“අපි දෙන්නා ගේ ඇතුළේ කතා කර කර ඉන්න කොට කට්ටියක් ගෙදර දොරට කලබලෙන් තට්ටු කළා. මං එයාට කිව්වා හැංගෙන්න කියලා. එයා බැල්කනියට ගිහින් හැංගුණා. පස්සේ මං සාලෙට ගිහින් ජනේල ඇරලා තට්ටු කළේ කවුද කියා ඇහුවා. 'මං රෝස් ඇන්ටි දොර අරින්න කියලා කිව්වා' මං දොර බාගෙට ඇරියම ඒ ඇන්ටි මාවත් තල්ලු කරන් තව 4 දෙනෙක් එක්ක ගේ ඇතුළට ආවා. ඇවිත් ගේ ඇතුළේ පරීක්ෂා කළා. පස්සේ බැල්කනිය ළඟ තියෙන ජනේල අරිද්දි ඇන්ටි බැල්කනියේ හැංගිලා හිටිය එයාව දැක්කා. අපි දෙන්නට ජරා වචනවලින් බැන්නා. ඒ වේලාවේ ම මොකක් හරි ලොකු දෙයක් වැටෙන සද්දයක් එකපාරට ඇහුණා. ගිහින් බලද්දි එයා බිමට වැටිලා සිටියා” යැයි මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ නව වන මහලෙන් බිමට වැටී ඉංජිනේරු සිසුවෙක් මියයෑම සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සිසුවාගේ පෙම්වතිය වන මුජිබර් ෆාතිමා මුස්නා එසේ පැවසුවාය.
මෙලෙස මියගොස් ඇත්තේ රෝහල පාර, සයින්දමරුදු-10 ප්‍රදේශයේ පදිංචිව සිටි ජබ්බාර් අහ්මද් ජෆිස් නම් 21 හැවිරිදි සිවිල් ඉංජිනේරු ශිෂ්‍යයෙකි.
තම පෙම්වතියගේ පවුලේ සාමාජිකයන් පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් සිටි අවස්ථාවේ ඇයව හොර රහසේ මුණගැසීමට පසුගිය 10 වැනිදා පාන්දර 1.30ට පමණ මියගිය තැනැත්තා මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් සංකීර්ණයේ නවවන මහලේ පිහිටි ඇගේ නිවෙසට ගොස් ඇත. එම අවස්ථාවේ අසල්වැසි නිවැසියන්ට බිය වී බැල්කනියේ එල්ලී සැඟවී සිටිය දී හදිසියේ අත ලිස්සා නවවන මහලෙන් බිමට වැටී මෙම තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටියදී ඊයේ දින මිය ගොස් ඇත.
මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වූ සාක්ෂි විභාගය ඊයේ දින කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියේ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රෆ් රූම් මහතා ඉදිරියේ පැවැත්විණි.
මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය මෙසේද පැවසුවාය.
“මියගිය කෙනා මගේ යාළුවා. මාස 05ක් තිස්සේ අඳුරනවා. එයත් එක්ක යාළු වෙලා මාසයක් වෙන්නේ. මගේ ගෙදර ඉන්නේ මමයි, අක්කයි, තාත්තයි. එයාල දෙන්නා පවුලේ ව්‍යාපාරය ගැන බලන්න ඕනේ කියලා හම්බන්තොට ගිහින් තිබුණා. ඒ නිසා මේ මාසේ 09 වැනිදා මං අහ්මද්ට කිව්වා මාව බලන්න අපේ ගෙදර එන්න කියලා. එයා දවල් 1.30ට වගේ අපේ ගෙදරට ආවා. එළියෙන් එයාගේ සෙරප්පු දෙක ගලවල තමා ඇතුළට ආවේ. එහා ගෙදර ඉන්න ඇන්ටි ඒ සෙෙරප්පු දෙක දැකල අපේ ගෙදර බෙල් එක ගැහුවා.
මගෙන් ඇහුව කාගෙද මේ සෙෙරප්පු දෙක කියලා. මං දන්නේ නැහැ කිව්වා. පස්සේ එයා ඒකෙන් එක සෙෙරප්පුවක් අරන් ගිහින්.
පස්සේ අහ්මද් සවස 4.30ට ගෙදර යන්න හදද්දි දැක්කේ සෙරප්පුවක් අඩුයි කියලා. මං එයාට අපේ අක්කගේ සෙරප්පුවක් දුන්න දාගෙන යන්න. එයා ගිහින් ටික වේලාවකට පස්සේ මං රෙදි වගයක් ගන්න එළියට ගියාම අල්ලපු ගෙදර ඇන්ටිගේ ගෙදර ගාව නැති වුණ සෙරෙප්පුව තියෙනවා දැක්කා. මං අහ්මද්ට රෑ 10ට වගේ කෝල් එකක් දීලා කිව්වා සෙෙරප්පුව තියෙනවා එන්න ගන්න කියලා. එයා කිව්වා එන්නම් ආයේ හම්බෙන්න වෙන්නෙත් මාස 04 පස්සේ. ඒ නිසා මට නිදාගන්න එපා කියලා එයා පාන්දර 1.30ට වගේ අපේ ගෙදර ආවා. අපි දෙන්න කතා කර කර ඉද්දි කලබලෙන් කට්ටියක් ගෙදර දොරට ගැහුවා. මං කිව්වා එයාට ටග්ගාලා හැංගෙන්න කියලා. එයා බැල්කනියට ගිහින් හැංගුණා. මං සාලෙට ගිහින් ජනේල ඇරලා කවුද දොරට ගහන්නේ කියලා ඇහුවා. ' මං රෝස් ඇන්ටි දොර අරින්න කිව්වා'. මං බාගෙට දොර ඇරියම මෙයා තව ගැහැනු තුන්දෙනකුයි තව පිරිමි කෙනෙක් එක්ක මාවත් තල්ලු කරන් ගේ ඇතුළට ඇවිත් ඇඳ යට කාමරේ ඇතුළේ නානකාමරයේ වගේ හැම තැනම පරීක්ෂා කළා පස්සේ බැල්කනියේ ජනේල අරිද්දි ඇන්ටි අහ්මද්ව දැක්ක. එයා අපි දෙන්නටම ජරා වචනවලින් බණින්න පටන් ගත්තා. ඒ වේලාවේම ලොකු සද්දයක් ඇහුණා. ටකරමක් උඩට මොකක් හරි බර දෙයක් වැටෙන සද්දයක්. පස්සේ බලද්දි එයා බිම වැටිලා ඉන්නවා දැක්කා.”
මියගිය සිසුවාගේ පියා මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
“මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා.
ඒ හැමෝම පිරිමි ළමයි. නැති වුණේ මගේ වැඩිමහල් පුතා. එයා සිවිල් ඉංජිනේරු පාඨමාලාවක් කරනවා. ඒ නිසා එයා කොළඹ වෙන ගෙදරක නැවතිලා ඉන්නේ. මේ ගිය 10 වැනිදා පාන්දර 2.30 වගේ වයිෆ් මට කෝල් කරලා කිව්වා අපේ පුතා මහල් නිවාසයක උඩ ඉඳන් බිමට වැටිලා කියලා. මං ඒ වේලාවේ සෞදි අරාබියේ හිටියේ. ලංකාවට එන්න පුළුවන් වුණේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ. ඒ වේලාවේ පුතාව බලන්න ආවාම පුතා සිහිය නැතුව හිටියේ. පුතා එයාගේ පෙම්වතිය බලන්න ගිහින්. ඒ වේලාවේ අල්ලපු ගෙදර කෙනා ආපු නිසා පුතා බය වෙලා බැල්කනියේ හැංගිලා. පුතා හැංගිලා ඉන්න එක දැකලා අල්ලපු ගෙදර කෙනා බැණලා. ඒ වේලාවේ තමයි මගේ පුතා බිමට වැටිලා තියෙන්නේ. දිගටම දැඩිසත්කාර ඒකකයේ ඉඳල 20 වැනි දා උදේ 3.20ට තමා එයා මියගියේ”.
(දෙව්නි මහගමගේ)
0 Comments