විදේශීය නෞකාවක් මගින් මෙරටට ගෙන එන ලද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිර්දේශිත මනුෂ්‍ය ආහාරයට නුසුදුසු තත්ත්වයේ නරක් වූ මාළු අඩංගු බහාලුම් 15 ක් වසර දෙකකට අධික කාලයක් පුද්ගලික ගබඩාවක රඳවා තබා ඇතැයි ජාතික විගණන කාර්යාලය ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් අනාවරණය කරයි.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගනිද්දී නැවේ ඇති වූ කාර්මික දෝෂයකින් විදුලිය අක්‍රීය වීම නිසා මෙරටට ළඟා වූ නැවකින් මෙම නරක් වූ මාළු
බහාලුම් 98ක් මෙලෙස මෙරටට ගෙනවිත් තිබේ.
මෙම මාළු තොගය නරක් වූ ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා කළද, රේගු සටහන්කරයේ ඇතුළත් කර රේගුව විසින් රුපියල් 6,288,357ක බදු මුදලක්ද අයකර ගෙන ඇති බව විගණනය කියයි.එම නරක් වූ මාළු සහිත බහාලුම් 98 එම නැවේ දේශීය නියෝජිතයා විසින් 2022.03.09දා පුද්ගලික ආයතනයකට කාබනික පොහොර නිෂ්පාදනයට විකිණීමට සූදානම් කර, එයින් 43ක් පමණක් එලෙස විකුණා ඇතැයි විගණනයෙන් හෙළි වී ඇත.
එයින් වසරකට පසුව ඉතිරි බහාලුම් 55න් 40ක් කාබනික පොහොර නිෂ්පාදනයට යොදා නොගෙන අවස්ථා තුනකදී තායිලන්තයට හා මැලේසියාවට ප්‍රතිඅපනයනය කර ඇති බවත් නරක් වූ මාළු සහිත ඉතිරි බහාලුම් 15 එතැන් සිට2023 සමාලෝචිත වර්ෂය අවසන් වනතුරුත් පුද්ගලික ගබඩාවක රඳවා තිබෙන බවත් විගණනයේදී අනාවරණය වී තිබේ.
මෙම නැව හරවා යැවිය යුතු තත්ත්වයේ එකක් වුවත්, ආනයනික භාණ්ඩ තත්ත්වයේ නැවක් බවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ විසින් පත්කරනු ලැබූ කමිටුවක් මගින් තීරණය කර ඇති බවද විගණනයෙන් පෙන්වා දී ඇත. මෙලෙස කාබනික පොහොර සඳහා රට තුළට ගත් කුණු මාළු බහාලුම් 40ක් එම කාර්යට නොයොදා ප්‍රතිනැව්ගත
කිරීමට ගත් රේගුවේ මුල් තීරණය වැරදි බව තවදුරටත් තහවුරු වීමකැයිද විගණනය පෙන්වා දෙයි.
දැනට ගබඩාගතව තිබෙන බහාලුම් 15ක කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මුදාහැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන තෙක් රඳවා ඇති බව රේගුවේ ගණන් දීමේ නිලධාරියා විගණනයට දැනුම් දී තිබේ.මෙම නරක් වූ මාළු තොග වර්ගීකරණයේ අපැහැදිලිතාවක් ඇති අතර, එවිට එය වර්ගීකරණ කමිටුව වෙත යොමු කිරීම අවශ්‍ය බවත්, තීරණ ගැනීමේදී වඩාත් විචක්ෂණශීලී විය යුතු බවත් විගණනයෙන් රේගුවට නිර්දේශ කර ඇත.
(ජේ.ඉඳුරුවගේ)
0 Comments