කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම පෙරේදා (02) සහ ඊයේ (03) යන දෙදින ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.උන්වහන්සේ වෙනුවෙන්පෙරේදා දිනයේදී ධර්ම දේශනා පින්කම පැවැති අතර ඊයේ දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියෝ පෙරේදා දිනයේ ධර්ම දේශනාව පැවැත්වූහ.
වැඩම කර සිටි මහා සංඝරත්නය වෙත දානය පූජා කිරීමට පෙර ආගමික වතාවත් පැවැත්වුණ අතර ඒ අනුව පිරිස පංචශීලයේ පිහිටුවීම වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ද බුද්ධ පූජාව දිඹුල්කුඹුරේ විමල ධම්ම අනුනාහිමියන් ද දානය සාංඝික කිරීම වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනු නායක හිමියන් විසින් ද සිදු කරනු ලැබීය.එහිදී අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ අනුශාසනාව පවත්වමින් මෙසේ පැවසූහ.ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය අපේ භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් සාමණේර භික්ෂූන් වහන්සේලාට අත්පොතක්. එය අධ්‍යයනය කිරීමට උන්වහන්සේලාට දිය හැකිනම් ඒ ඉතාම වැදගත් වෙනවා.
පොඩි හාමුදුරුවන්ගේ පැවිදි ජීවිතයේදී ලැබුණු නොයෙකුත් අභියෝග උන්වහන්සේ ආශිර්වාදයක් කරගත්තා. සිය පැවිදි ජීවිතය පළුදු කර නොගනිමින් එම අභියෝග තුළින් රටට ජනතාවට සේවය කළ හැටි වත්මන් තරුණ භික්ෂූන් වහන්සේලා උගත යුතුයි.
වත්මන් තරුණ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපයන් පිළිබඳව සමාජයේ නොයෙකුත් කතිකා ඇතිව තිබෙනවා. ඒ අනුව පොඩි හාමුදුරුවන්ගේ චරිතාපදානය තරුණ භික්ෂූන් වහන්සේලාට අධ්‍යයනය කිරීමට ලබා දෙනවා නම් හොඳයි.ඒ උන්වහන්සේලාගේ ගමන් මග රටට ජාතියට ආගමට ප්‍රයෝජනයක් ලෙස හැඩගැසීමට උපකාරී වෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ සමාජයේ වැඩිපුර ඇස නොගැටෙන තැන් සොයා බලා ඒ සමාජ තලයේ අයට කිසිදු භේදයකින් තොරව ආධාර උපකාර කළා. නැතිනම් රජයේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු කළා. ඒ නිසා උන්වහන්සේ අපවත් වී මාස තුනක් ගියත් එය අපට නොදැනෙන සේ වත්මන් ගංගාරාම විහාරාධිපති අස්සජි හිමියන් ඇතුළු විහාරවාසී උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් දායක කාරකාදිනුත් කටයුතු කරනවා.
විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් මෙහි පිළිගැනීමේ අනුශාසනාව කළ අතර ත්‍රෛනිකායික මහා සංඝ රත්නය පිළිගැනීම සිදු කරනු ලැබූයේ පානදුර ගඟුල විශුද්ධාරාමාධිපති තන්තිරි මුල්ලේ සරණ හිමියන් විසිනි.
ආරියරත්න රණබාහු
0 Comments