පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සදහා සියලු සිසුන්ට සම්පූර්ණ ලකුණු දීපිට බලධාර්ස් ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද ඊයේ (18) නිකුත් කෙරිණි.ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සහ එම විභාගයේදී ගත් ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද මෙහිදී නිකුත් කළේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවන ලෙසද ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රයට අදාළව යළි විභාගය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දීමටද නීතිපතිවරයාට නියම කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්තේ සූරසේන, අවල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මව්පියන් පිරිසක් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පවසන පෙත්සම්කරුවෝ ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා විභාගයට පෙනී සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරින් ගත් තීරණයෙන් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි යැයි ද පවසති.
ඉන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නැයිද කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් දෙන්නැයි ද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටිති.පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු ලබාදී ඇති බවට කරුණු හෙළි වූ බවද ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වූ බවද පෙත්සම්කරුවෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ එම කමිටුව පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුන ඉවත්කර පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු කිරීමට තීරණය කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ තමන් ඊට අකමැත්ත පළ කරන බවද පවසති.ම
ේ සම්බන්ධයෙන් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරවලට අවධානය කළ යොමු ජනාධිපතිවරයා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවීමට නියම කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ වුවත් පිටවී ඇති ප්‍රශ්නවලට සියලුම සිසුන්ට ලකුණු ලබාදීමටද ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට ද අදාළ බලධාරීන් තීරණය කළ බව මාධ්‍යවලින් තමන්ට දැන ගැනීමට ලැබුණු බවද පවසති.
සියලු සිසුන්ට එලෙස ලකුණු ලබා දුන්නොත් විභාගයට පෙනී සිටි සිසුන්ගේ අවසන් ප්‍රතිඵලයට එය අගතිදායක ලෙස බලපෑමට ඉඩ ඇතැයි ද සමස්ත ක්‍රියාවලියෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද පෙත්සම්කරුවෝ සඳහන් කරති ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙසටත් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද පිට වී ඇතැයි කියන ප්‍රශ්නවලට සම්පූර්ණ ලකුණු දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙසටත් නියෝග කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
ප්‍රශ්න පිටවීම ඇතුළුව ඊට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම සිද්ධිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් නෝබෝදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවී ඇති බැවින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි පැවැසූහ.පෙත්සමෙන් ඉල්ලා ඇති සහත ප්රදානය නොකළහොත් අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් වීමට හැකියාව ඇති බවත් මෙවැනි තත්වයන් ඉදිරියේදීත් ඇතිවිය හැකි බවත් පෙන්වා දුන් නීතිඥවරු තම සේවාදායකයන් ඉල්ලා ඇති සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පැවසීය.ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇමතු විනිසුරු මඩුල්ල අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රයට අදාළව යළි විභාගය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු බලධාරින්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන්නැයි නියම කළේය. දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ සහත ප්රදානය කිරිමට සහ පෙත්සම් විභාගයට අවසර දුන් විනිසුරු මඬුල්ල කරුණු සලකා බැලීම සඳහා පෙත්සම් දෙසැම්බර් 02 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.
(රන්ජන් කටුගම්පොල)
0 Comments