ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන්ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය.
මේ අතර The Times of Israel පුවත්පත වාර්තා කර ඇත්තේ ඇමරිකානු ෆෙඩරල් අධිකරණයේ පසුගිය සතියේ ගොනු කර තිබූ පෙත්සමක සඳහන්ව ඇත්තේ ෆාර්හාඩ් ශකාරී නම් ඇෆ්ඝන් ජාතිකයෙක් ඉරාන බලධාරීන් විසින් එම ප්‍රහාරය මෙහෙයවීම සඳහා යොදවා තිබූ බවයි.
එම පුවත්පතට අනුව ඔහු පවසා ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි.
ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයන් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ඉකුත්දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවැසුවේය.
පසුගියදා රජය නිවේදනය කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. සැකකරුවන් අතර මාලදිවයින් ජාතිකයෙක් ද වේ.
0 Comments