janaka-rathnayaka-tax

රුපියල් කෝටි තුනකට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරී බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයකු වූ ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ නඩු පැවරීය.


වසර තුනක කාලයක් සඳහා ‘වැට්’ සහ ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැරි බවට චෝදනා කරමින් පවරා ඇති නඩු කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන වන එච්.එල්. කුමාරි ද සිල්වා මහත්මියට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.




කොළඹ 05 කිරුළපන පෙදෙසේ පවත්වාගෙන යන ‛රෙන්ට් කම්පැනි සර්විස්' ^Rent A company service pvt ltd& සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කරමින් 2016, 2017 හා 2018 වසරවල් සඳහා වැට් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 3,18,46,248.24 ක මුදලක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 18,51,688.37 ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩු දෙක පවරා ඇත.


මෙම නඩු කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙක් අධිකරණයේ පෙනී සිටියේය.පැමිණිලිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිසි පරිදි භාරදුන් බව පිස්කල්වරයා වාර්තා කර ඇතැයි කීය.




 වග උත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සමාගමේ අධ්‍යක්ෂවරයකු අධිකරණයේ පෙනී සිටින බව පැවසීය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍රයේ සඳහන් වගඋත්තරකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

මෙම නඩු දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් මහතා සමඟ නීතිඥ සම්පත් ජයවර්ධන මහතා පෙනී සිටියේය.
( රෝෂන් තුෂාර)