kadar-masthana-fb-post

හිටපු ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට එරෙහිව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ පළ කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියම කර තිබේ.



මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රථම නඩු තීන්දුව මෙය වන අතර, විත්තිකරුට පනවන ලද මාස හයක සිර දඬුවම වසර පහක කාලයකට අත්හිටුවීමටත්, රුපියල් 5,000ක දඩයක් නියම කිරීමටත් මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

මන්නාරමේ පදිංචි එන්.එම්. ෆාරිස් නැමැති ව්‍යාපාරිකයා චෝදනාවට වරද පිළිගනිමින්, අදාළ ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනීමට එකඟ වීම හේතුවෙන් මෙම දඬුවම් නියම කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විසින් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ මෙම නඩුව පවරා තිබුණි.



නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් නසාර් මහතා, තම සේවාදායකයාට නොතීසි නොලැබීම හේතුවෙන් පෙර දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව පැවසූ අතර, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු, අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වට්ස්ඇප් හා දුරකථන මාර්ගයෙන් නොතීසිය පිළිබඳව විත්තිකරු දැනුවත් කළ බව අධිකරණයට දන්වා සිටියහ.

මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල බෙදා හැර ඇති සියලු ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසද නියෝග කර තිබේ.