කහතුඩුව, ප්‍රගතිමාවත ප්‍රදේශයේ වසා තිබුණු නිවෙසකට ඇතුළු වී රුපියල් අටලක්ෂ හැත්තෑපන් දහසක් පමණ වටිනා රන් මාලයක් සහ රන් අත් පලඳනාවක් සොරකම් කළ හිටපු හමුදා සෙබළකු ගල්කිරියාගම පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයකදී අත්අඩංගුවටගත් බව කහතුඩුව පොලීසිය පවසයි.
සොරා ගත් දේපළවලින් කොටසක් සොයාගෙන ඇති අතර ඉතිරි දේපළ සොයා ගැනීමට විමර්ශන කරන බවද පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු 17 හැවිරිදි පෙම්වතිය සමඟ කහතුඩුව, ප්‍රගති මාවත ප්‍රදේශයේ ඉදිකිරීම් කොන්ත්රාත්කරුවකුගේ නිවෙසක නතර වී පින්තාරුකරුවකු ලෙස රැකියාව කරමින් සිටි අයෙකි.
පසුගිය 25 දා මෙම සොරකම සිදුවී ඇති අතර නිවැසි කාන්තාව දොර, අගුළු නොදා වසා අසල නිවෙසකට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා දොර තල්ලු කරගෙන නිවෙසට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.
සොරා ගත් රන් අත් පලඳනාව කැස්බෑව ප්‍රදේශයේ රන් බඩු අලෙවිසලකට විකුණා තුන්ලක්ෂ විසිදහසක මුදලක් ලබාගෙන ඇති අතර රන් මාලය කැස්බෑව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උගස් කර දෙලක්ෂ හැටදෙදාහක් ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
ඉන්පසු මෙම සැකකරු කැස්බෑව ප්‍රදේශයේ විදුලි කණුවක උකස් කළ රන් භාණ්ඩ බේරාදෙන බවට සඳහන් දුරකතන අංකයකට කතා කර ඇති අතර පුද්ගලයකු පැමිණ ඔහුට දෙලක්ෂ හැත්තෑදහසක් ලබාදී රන් මාලය බේරාගෙන තවත් රුපියල් හතළිස්දහසක් සැකකරුට ලබා දී ගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
අත් පලඳනාව සොයාගෙන ඇති අතර රන්මාලය සොයා ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.
විදුලි කණුවල දුරකතන අංක ප්‍රදර්ශනය කරන මෙම කණ්ඩායම ජාලගතව මෙලෙස උකස් කරන ලද රන් භාණ්ඩ බේරා ගන්නා නමුත් කිසිම අවස්ථාවක ඒවා ආපසු නොදෙන බවත් එවැනි ආයතනයක් හෝ ස්ථානයක් නොමැති බවත් මේ වන විට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ප්‍රියංකර මහතාගේ මෙහෙයවීම යටතේ පො. සැ. 18808 සේනාධීර, පො. කො. 45042 සුමතිපාල, 93586 දිල්ශාන්, 94949 මධුසංක, 8436 ප්‍රියංකර යන නිලධාරීහු මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති.
( හල්තොට - විනීතා මානෙල් ගමගේ)
0 Comments