විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචා කර සුඛෝභෝගී ජීවිතයක් ගතකරමින් සැඟව සිටි බව කියන කාන්තාවක සහ ඇයගේ හිතවතකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.එම සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන තමන් සතුව තිබූ විදේශ බලපත්‍ර හයක් රැගෙන තමන්ගේ හිතවතා නිවසින් ගිය බවට පැමිණිල්ලක් කිරීම කහතුඩුව පොලිසිය වෙත පැමිණි සැකකාරියගෙන් අනාවරණ තොරතුරු අනුව කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.ගමන් බලපත්‍ර හයක් මෝටර් රථය තුළ තිබීත් ගමන් බලපත්‍ර 60 නිවස තුළ තිබියදීත් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකාරිය සිංගප්පූරුව, හොංකොන්, ඩුබායි රොමේනියා යන රටවල සේවය කර 2022 වසරේ මෙරටට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම සැකකාරිය ඇයගේ හිතවතා සමඟ සියඹලාගොඩ ජය ලියගොඩ නිවසක පදිංචිව සිට විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයනගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට 12 දක්වා ආදී මුදල් වසර 2 1/2 කාලයක සිට ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.මොවුන්ගේ වංචාවට හසු පුද්ගලයන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන ඇත්තේ රාජගිරියේ ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිට සුඛෝබෝගී මෝටර් රථයේ සිට බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒජන්සි හරහා වීසා අයදුම් කර රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන බවට පවසා එම පුද්ගලයන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ගමන් බලපත්‍ර ඔවුන් භාරයට ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. අනතුරුව ඒ සඳහා විදේශ අමාත්‍යාංශයෙන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන බවට පවසා ව්‍යාජ ලිපියක් සකස් කරගන්න විදේශ ගමන් බලපත්‍ර හිමිකරුවන් වෙත යොමු කර ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 2014 වසරේදී සැකකරු සමග හිතවත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අනතුරුව විදේශගතව විවිධ රටවල සේවය කර අවසන් වරට රුමේනියාවේ ළමයින් බලා ගැනීමේ රැකියාවේ නිරතව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.එහිදී මෙම සැකකාරිය සැකකරුද ගෙන්වාගෙන ඇති අතර නිවෙස් හිමිකරු වන (බොස්) සමග එකතු වී රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් රැකියා ලබාදෙන පවසමින් විවිධ පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව 2022 වසරේදී මෙරටට පැමිණ කහතුඩුව ප්‍රදේශයෙන් රුපියල් කෝටි 1- 1/2 මුදලක් දී නිවසක් මිලදීගෙන පදිංචිව සිට සුඛෝභෝගී මෝටර් රථ 2 ක් මිලදීගෙන මෙම වංචාව රුමේනියාවේ නිවෙස් හිමිකරු ද සම්බන්ධ කරගෙන පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. මෙරට රැකියා බලාපොරොත්තුව සිටින පුද්ගලයන් මුදල් බැර කර ඇත්තේ රුමේනියාවේ පුද්ගලයාගේ නමට බවත් එකී මුදල්වලින් කොටසක් මෙම කාන්තාවට ලැබී ඇතැයිද මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි. මොවුන් සිදු කළ වංචාව සම්බන්ධයෙන් මෙතෙක් කහ තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිසිය කියයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments