kdu-accident

බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් 40කට තුවාල සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ බස්රථ රියදුරු සමග සිසුන් අටදෙනකු ඊයේ (07දා) වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවූ බව බදුල්ල පොලීසිය පවසයි.




මෙම මාරක රිය අනතුරට සම්බන්ධ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ප්‍රවාහනය කළ බස් රථය පැදවූ ගාල්ල දම්මල ඇල්විටිගල ජනපදයේ පදිංචි 41 හැවිරිදි රියදුරු බරපතළ තුවාල ලබා ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (06දා) රෝහලේ වාට්ටු අංක 9 ට මාරු කර යැවූ බවද රෝහලේ ප්‍රකාශයෙක් කීවේය.


මීට අමතරව බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිසුන් සිවුදෙනෙකු, වාට්ටු අංක 9 හි දෙදෙනකු, වාට්ටු අංක 10හි සිසුවියක සහ වාට්ටු අංක 41සිසුවෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලීසිය සඳහන් කළේය.




මෙම අනතුරින් තුවාල ලැබූ බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 27දෙනෙකු පමණ දැනට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිට වී ගොස් ඇති බවත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාඇළ, ඇලෙක්සැන්ඩර් මාවතේ 24 හැවිරිදි සිසුවෙකු රෝහලෙන් පැන පලා ගිය බවත් පොලීසිය පැවසීය.


මීට අමතරව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් තිදෙනෙකු හා යුද හමුදා නිලධාරීර්න් දෙදෙනකුද මෙම අනතුරින් තුවාල ලැබූ බවත්, අනතුරින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කුරුණෑගල උනකොළගෙදර කරටිවත්ත පදිංචිව සිටි එන්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල (23) සහ නිවිතිගල තොලබුගමුව පහල කන්ද ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.ජී.අයි. උමයංගනී (24) යන සිසුවියන් දෙදෙනා අනතුර සිදු වූ පළමු දින මියගියහ.


දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9 හි ප්‍රතිකාර ලබමින් පසුවෙන අනතුරට සම්බන්ධ බස් රථය පැදවූ රියදුරුගේ තත්ත්වය සාමාන්‍ය හොඳ තත්ත්වයට පැමිණ ඇති බවත්, ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීමට කටයුතු කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර, පසුව පස්සර පැල්ගහතැන්න ඌව කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ 31දා රාත්‍රී නවාතැන් ගෙන යළි පසු දින වූ 1වැනිදා පස්සර සිට බදුල්ල හරහා රන්ටැඹේ යමින් සිටියදී බදුල්ල- මහියංගණ ප්‍රධාන මාර්ගයේ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේදී මෙසේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි පෙරළීයාමෙන් මෙම අනතුර සිදු විය.
( ප්‍රසාද් රුක්මල්)