kempitiya-walawwa-murder

විමර්ශන නිලධාරීන්ගේ පළපුරුද්ද සහ හැකියාව මෙන්ම සී.සී.ටී.වී කැමරා දර්ශනද අපරාධයක් විස¼දා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මහඟු දායකත්වය දෙනු ලබන්නේය. මේ බව මොනවට පැහැදිලි වන්නේ ඉකුත්දා මුළු රටපුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ඝාතනයකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ගේ දක්ෂතාව මෙන්ම සීසීටීවී කැමරා දර්ශනද උපයෝගිවීම නිසාය. ඉකුත් ඔක්තෝබර් මස 27 වැනිදා කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඉතා අමානුෂික ලෙස ඝාතනය කර

තිබිණි. අතපය ගැටගසා කටට ප්ලාස්ටරයක්ද අලවා ඇඳ සිටි සරමෙන් ගෙල ගැටගසා ඔහු ඝාතනය කළ පුද්ගලයන් නිවෙසේ තිබූ මුදල් හා රන් ආභරණ සොයා තිබූ අතර ඉන් අනතුරුව වලව් බිමේ නතර කර තිබූ හිමිකරුට අයත් මොටෝරියද රැගෙන ඔවුන් පලාගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ කෑගල්ල මූලස්ථාන පොලිසිය විසිනි. කෙසේ වෙතත් කෑගල්ල  දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ විසින් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරමින් මෙසේ දක්වා තිබිණි.

‘කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ඇතුළු කණ්ඩායමක්, කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක්, ස්ථානාධිපති අපරාධ විමර්ශන ඇතුළු විමර්ශන සම්බන්ධයෙන් පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් මීදෙණිය, කෙම්පිටිය වලව්වේ ජයන්ත පරාක්‍රම මාරපන යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් යොදවන්න.’



එමෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඔවුන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය කෑගල්ල දිස්ත්‍රික් භාර නිලධාරියා විසින් දිනපතා සොයා බලන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට උපදෙස් දී තිබිණි.

ඒ අනුව කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකළ අතර මෙහිදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ඇතුළු කණ්ඩායමටය.

ඇගේ කණ්ඩායම මේ සඳහා දැඩි කැපවීමක යෙදුණි. ඒ නිසා කෙම්පිටිය වලව්ව හා ඒ අවට මාර්ගවල ස්ථාපිත සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමට දින කිහිපයක්ම ගත කිරීමට ඔවුනට සිදුවිය.

“සිද්ධිය වුණු ආකාරය නිරීක්ෂණය කරද්දී කොට්ඨාසයට වාර්තා වුණු තවත් එවැනිම අපරාධ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වුණා. ඒ අපරාධ සිදු කළ ආකාරය අනුව අපි විමර්ශන ආරම්භ කළා. ඒ  වෙනකොට කෑගල්ල කොට්ඨාසයට අපරාධ 6ක් වාර්තා වෙලා තිබුණා. කෙම්පිටිය වලව්වේ ඝාතනය 6 වැනි අපරාධය වුණා. ඒ අපරාධ හැම එකක්ම එකම උපක්‍රමයට කරලා තියෙන්නේ. අතපය ගැට ගහලා, කට ගැට ගහලා අපරාධය සිදුකරලා තමයි මේ අය පලායන්නේ.

ඒ වගේම අපරාධය සිදු කළාට  පස්සේ අපරාධය සිදුකළ ස්ථානයේ, නිවෙසේ තියෙන වාහනයකින් තමයි ඔවුන් පලායන්නේ. ඒ  වගේම ජංගම දුරකථනත් ඔවුන් රැගෙන යන්න වග බලා ගන්නවා. ඒ  වාහන අතරමඟ දාලා යනවා. මේ අපරාධයත් ඒ  උපක්‍රමයටමයි කරලා තිබුණේ. ඒ නිසා අපි සැක කළා ඒ  අපරාධකරුවන්ම    තමයි මේ අපරාධයත් කරන්න ඇත්තේ කියලා. ඒ අනුව විමර්ශන සිදුකළා.

සීසීටීවී දර්ශනවලින් අපිට පෙනුණා සැකකරුවන් වෙනත් වාහනයකින් ඇවිත් ඒ වාහනයෙන්  බැහැලා අපරාධ ස්ථානයට යන්න ගොඩවෙන දර්ශනයක්. ඒ දර්ශනය  අපි  ලබාගත්තා.

ඒ වෙනකොටත් කෑගල්ල කොට්ඨාසයේ සිදුවූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනකු  අපි අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරලයි තිබුණේ. ඒ වගේම ඒවට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගන්න මම විමර්ශනය කරමිනුයි හිටියේ. ඒ විමර්ශනය කරන සැකකරු මේ අපරාධය කරන්න ඇති බවට සැකයක් අපිට තිබුණා. අපි ඒ ඔස්සේ විමර්ශනය කළා.

දිගින් දිගටම විමර්ශන සිදු කරද්දී කෙම්පිටිය ඝාතනයත් ඒ සැකකරු කරන්න ඇති බවට තොරතුරු තහවුරු වුණා. ඒ සමඟම අපි ඔහුව අත්අඩංගුවට ගන්න සැකකරු එදවස ත්‍රිකුණාමලයට ඔහු ගැවසෙන පිළියන්දලට, මිද්දෙණිය, මාතර වගේ ප්‍රදේශවලට අපිට යන්න වුණා. ඒ හැම ප්‍රදේශයකටම මාත් මගේ නිලධාරිනුත් ගිහින් තොරතුරු හෙව්වා. ඒ ගමන්වලදී අපිට තොරතුරු රාශියක් අනාවරණය කරගන්න පුළුවන් වුණා.”

සැකකරුවන් පසුපස හඹාගිය ආකාරය ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා සඳහන් කළේ එලෙසය. එය හුදෙක්ම සාර්ථක වූයේ සී.සී.ටී.වී. කැමරා නිසාය. කෙම්පිටිය වලව්වේ ඝාතනය සිදුවූ මොහොතට පසුව සහ පෙර කාලවල සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීම අප්සරා ඇතුළු කණ්ඩායමට සිදුවූහ. මෙහිදී අපරාධ සිදුවීමට පෙර කෙම්පිටිය වලව්වෙත් ඒ අවටත් ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණ කිරීම ඇරැඹීය.

“ඔහොම දිගින් දිගටම ඒ කැමරා බලද්දී අපිට පෙනුණා රතුපාට ත්‍රීවීල් එකක තුන් දෙනෙක් කෙම්පිටිය පැත්තට එන දර්ශනයක්. අපි සියුම් ලෙස ඒ කැමරා නිරීක්ෂණය කළා. ඒ ත්‍රීවීලර් එකේ රියැදුරාට අමතරව තුන් දෙනෙක් ඉන්නවා කියලා අපිට පෙනුණා.



අපි ඒ ත්‍රීවීල් එක හඳුනාගත්තා. ඒ අංකය සහිත ත්‍රීවීලර් එක කොහේද දුවන්නේ කියල හොයාගෙන ගියා. එතකොට අපි දැන ගත්තා ඒක පරගම්මන හන්දියේ ත්‍රීවීල් පාක් එකක දුවන්නේ කියලා.

අපි ත්‍රීවීලර් එකේ රියැදුරාගෙනුත් ප්‍රශ්න කළා. එයා කිව්වා තුන් දෙනෙක් ඇවිත් කෙම්පිටිය පැත්තට හයර් එකක් ගියා කියලා. එක් කෙනෙක් කාගෙන්ද පාර අහ අහ ගියෙත් කියලා කිව්වා. අපි ඒ තුන්දෙනාගේ හැඩරුවත් දැන ගත්තා.

පස්සේ අපිට තහවුරු වුණා ඒ මනුස්සයා මේ මුකුත් දන්නේ නැහැ කියලා. අපි එයාව මුදාහැරියා. ඊට පස්සේ අපි පරගම්මන හන්දිය ආසන්නයේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කළා. එතැනදි අපිට පෙනුණා  තුන් දෙනෙක් පාර දිගේ පයින් ඇවිත් මේ ත්‍රීවීලර් එකට නඟිනවා.

අපි ඒ තුන්දෙනා හොඳට නිරීක්ෂණය කළා. එහිදී අපිට තේරුණා වෙනත් අපරාධ සම්බන්ධයෙන් අපි හොයන එක පුද්ගලයෙක් එතැන ඉන්න බව. එයා තමයි ‘මලේ මලිත්්’ කියන්නේ. මලේ කියලා කියන්නේ එයාගේ ගම ත්‍රිකුණාමලේ හින්දයි. අපි මලේ මලිත් පස්සේ  පැන්නුවා.

අපි මෙයාව හොයාගන්න මීට කලිනුත් ත්‍රිකුණාමලේටත් ගියා. එතැනදි ආරංචි වුණා මෙයා පිළියන්දල, බෝකුන්දර ගෙයක ඉන්නවා කියලා. අපි එහෙත් ගියා. ඒත් ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ. ‍ෙදාරවලුත් වහලා තිබුණේ.  ඒ හින්දා ඔය පුද්ගලයා අපිට අල්ලගන්න බැරිවෙලයි හිටියේ.

මේ සිද්ධියටත් “මලේ මලිත්” ඉන්න බව සී.සී.ටී.වී. කැමරාවලින් දැක්කට පස්සේ අපි ආයෙත් මිනිහව හෙව්වා. ත්‍රිකුණාමලේටත් ගියා. බෝකුන්දරටත් ගියා. ඒත් හම්බවුණේ නැහැ.”

විමර්ශන නිලධාරියකු වැඩිදුරටත් පැවැසුවේය.

මලේ මලිත් බෝකුන්දර නිවෙසට පැමිණ ඇති බවට ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. ඇය උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් ඇතුළු කණ්ඩායම සමඟ යළි  බෝකුන්දර ප්‍රදේශය බලා යන්නේ ඉන් අනතුරුවය. එම ගමන සාර්ථක විය. නිලධාරීහු උපක්‍රමශීලීව බෝකුන්දර නිවෙස වැටලූහ. මලේ මලිත් පමණක් නොව මලේ ජනිත් සමඟ තවත් කාන්තාවක්ද නිවෙසේ වූහ. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ කෙම්පිටිය වලව්වට පැන එහි හිමිකරු මරා ඇත්තේ එම කල්ලිය බවය.

නිලධාරීහු සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා කෑගල්ල විමර්ශන ඒකකය වෙත රැගෙන ආහ. ප්‍රශ්න කිරීම පටන් ගත්තේය.  එහිදී මලේ මලිත් මෙන්ම මලේ ජනිත්ද කෙම්පිටිය වලව්වට පැමිණි ආකාරය එකක් නෑර කියන්නට වූහ.

ඒ අනුව කෙම්පිටිය  වලව්ව තුළ ලක්ෂ ගණන් මුදල් ගබඩා කර ඇති බව මලේ මලිත්ට පවසා ඇත්තේ ඔහු හිරේ සිටියදී මිතුරු වූ ෂෙහාන් නමැත්තාය.

හිරෙන් නිදහස්ව පැමිණි මලිත් ඉන්පසුවද ෂෙහාන් සමඟ සබඳකම් පැවැත්වීය.

“මම උඹට වලව්වට යන මැප් එක එවන්නම්. ගිහින් ගේමක් ගහපන්” ෂෙහාන් මලිත්ට උපදෙස් දුන්නේය. ඒ සඳහා ගමන් කිරීමට වාහනයක් මලිත් සතු නොවීය. ඒ වනවිට ඔහු තවත් කාන්තාවක් ඇසුරු කළේය. ඇයද තාවකාලිකව බෝකුන්දර පදිංචිව සිටියාය. ඇය කෝටිපතියකුගේ බිරියක්ය. මලිත් මේ බව  ඇයට කීවේය. කෙම්පිටිය වලව්ව කොල්ලකෑමට මලිත් ඇතුළු කොල්ලකරුවන්ට යෑමට වාහනයක් සොයා දෙන්නේ ඇයය. ඒ සඳහා රියැදුරකු සොයා ගන්නේද ඇය විසින්ය. ඒ හයර් එකක් සඳහා  බව කියමින්ය.

මලිත් තවත් මිතුරකුටද මේ බව කීවේය. ඔහුද ත්‍රි’මලේ පදිංචිකරුවෙකි. “හරි උඹලා කොට්ටාව හයි වේ එක ළඟට වරෙන් මම එතැන ඉන්නම්”

27 වැනිදා මලිත්, ජනිත් සමඟ සැකකාර කාන්තාව බෝකුන්දර සිට කොට්ටාව තෙක් එන්නේ ඇය විසින් ලබාදෙන මෝටර් රියෙනි.

කොට්ටාව අධිවේගී මාර්ගය අසලදී ත්‍රි’මලේ මිතුරාද එම රථයට ගොඩවන්නේය. රථය කෑගල්ල දෙසට ධාවනය විය. පිරිස යන්නේ මළ ගෙදරකට බව කාන්තාව රථයේ රියැදුරාට කියා තිබුණාය. ඒ හැරෙන්නට වෙන්නට යන දේ රියැදුරා දැන සිටියේ නැත.



පරගම්මන ප්‍රදේශයේදී රථය නතර විය. පිටුපස අසුනේ සිටි මලිත්, ජනිත් සහ මිතුරා රථයෙන් බැස ගත්හ.

“මළ ගෙදර වැඩ ඉවර  වුණාට  පස්සේ මට කෝල් එකක් දෙන්න. මම මඟට එන්නම්.”

කාන්තාව කීවාය. රියැදුරා රථය යළි පණ ගන්වා රථය රංවල  දෙසට ධාවනය කළේය. ඒ කාන්තාවගේ උපදෙස් මතය.

මොහොතකට පසු ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ  මලේ මලිත්ගෙනි.

“වැඩේ හරි. ඔයාලා තල්දූවට එන්න. අපි තල්දූවට එන්නම්. ඇගේ මුහුණ සිනහවෙන් පිරී ගියාය. ඒ වැඩේ සාර්ථක බව සිතූ නිසාය. රථය වේගයෙන් තල්දූවට ළඟා විය. මලේ මලිත් ඇතුළු තිදෙනාම රථයට ගොඩවිය. රථය බෝකුන්දර තෙක් ධාවනය විය. අතරමඟ කොට්ටාවේදී ත්‍රිකුණාමලයෙන් පැමිණි මිතුරා රථයෙන් බැස ගත්තේය. සියල්ලෝම නිහඬය. කාන්තාවට මෙය ගැටලුවක් වුවද ඇය කටහඬ අවදි නොකළාය. ඒ රියැදුරාට ඔවුන් ගැන සැකයක් ඇති වෙතැයි සිතූ නිසාය.

බෝකුන්දර නිවෙසට යෑමෙන් අනතුරුව රුපියල් පන්දහක මුදලක් දී රියැදුරා මුදාහැරීමට ඇය සමත් විය.

“මොකද වුණේ.”

“වැඩක් වුණේ නැහැ. වලව්වේ ලක්ෂ ගාණක් තිබුණේ නැහැ. රත්තරනුත් නැහැ. තිබුණේ රුපියල් දහදාහයි. ඒක විතරයි හම්බවුණේ. ඔන්න  මුද්දකුත් තිබුණා. ඒක ගත්තා.”

“ගෙදර වයසක  ජෝඩුවක් හිටියා. මිනිහා කෑගහන හින්ද අතපය බැඳලා කටත් බැන්දා. ගෑනිගෙත් කට බැන්දා. මුළු වලව්ව පුරාම හෙව්වා. වැඩක්  වුණේ නැහැ. අන්තිමට වත්තේ තිබ්බ කාර් එක අරන් පැනලා ආවා. සී.සී.ටී.වී. කැමරා එකත් ගලවගෙන ආවා. කාර් එක මඟ දාලා තමයි තල්දූවට ආවේ.”

මලිත් ඇයට කීවේය. සිනහමුසුව තිබූ ඇගේ මුහුණ එකවරම මලානික වූවාය.

“අපි මේ මුද්දවත් විකුණලා කීයක් හරි ගමු.”

ඇය රන් මුද්ද රැගෙන ගොස් ඒක විකුණා රුපියල් එක් ලක්ෂ හැටපන්දහසක මුදලක් ලබා ගත්තාය. ඒ මුළු මුදල වියදම් කර තිබුණේ “අයිස්” ගහන්නටය.

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කර ඇති බව පසුදා රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ කියන ආකාරය මලේ මලිත් ඇතුළු සියලු දෙනා දුටුහ. පිරිස බියට පත්වූයේ ඉන් පසුවය.

සැකකාර කාන්තාව විසින් ගෙනෙන  ලද මෝටර් රියට නැඟගත් මලිත්, ජනිත් සමඟ කාන්තාවද මිද්දෙණිය බලා ගියේ තිබූ බිය නිසාමය. ඒ සඳහා වෙනත් රියැදුරකු යොදාගෙන තිබිණි. මිද්දෙණිය සැකකාර කාන්තාවගේ මහගෙදර පිහිටි ගමය.

දින දෙකක් මිද්දෙණියේ නතර වූ ඔවුන් ඉකුත්දා යළි බෝකුන්දරට ආවේ වැඩි දිනක් මිද්දෙණියේ හිටියොත් සෙසු අයට ඔවුන් ගැන සැකයක් ඇති වෙතැයි සිතාය.

“අපි ඇඳුම් ටිකකුත් අරගෙන කතරගම ගිහින්  දවස් දෙක තුනක් එහි ඉඳිමු.” කාන්තාවගේ කතාවට කවුරුත් කැමැති විය. ඒ අනුව රථය යළි බෝකුන්දර බලා පැමිණියේය. මලේ මලිත් බෝකුන්දර නිවෙසට පැමිණ ඇති බව ඒ අවට ඔත්තුකරුවකු ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා දැනුවත් කරන අතර ඒත් සමඟ බෝකුන්දරට ගිය නිලධාරීන්ට මලේ මලිත් ඇතුළු තිදෙනා කොටුවන්නේ එතැනදීය. කෙම්පිටිය වලව්වේ ඝාතනය සහ කොල්ලය මෙසේ එකිනෙක හෙළි කර ගැනීමට හැකි වූයේ අප්සරා ඇතුළු කණ්ඩායමේ මහත් කැපවීම නිසාය. එය වැඩබලන පොලිස්පතිවරයාගේද පැසසුමට ලක්විය.

දින පහක් ඇතුළත කෙම්පිටිය වලව්වේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ සැකකාරිය  අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ පොලිස් කණ්ඩායමේ විමර්ශන හැකියාව කෑගල්ල දිසාවේ උසස් නිලධාරීන්ද අගය කළේය. සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්නාගාර ගත කෙරුණු අතර එක් සැකකරුවකු සොයා විමර්ශන ක්‍රියාත්මකය. සබරගමුව පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න, කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස්

අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි කන්දෙවත්ත යන නිලධාරීන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිශාන්ති අබේසේකර ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, සැරයන් රොෂාන් (69319), බණ්ඩාර  (75291), කොස්තාපල් උපුල් (78543), ගිහාන් (85316), කසුන් (91060), සහ රියැදුරු කොස්තාපල් මහේෂ් (160954) යන නිලධාරීහු සැකකරුවන් කොටුකර ගැනීමට දායක වූහ.

කීර්ති මෙන්ඩිස්