කිරුළපන, කාලිංග මාවතේ, කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ නිවෙසක පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් ඊයේ (21) දහවල් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි කිරුළපන පොලීසිය කියයි. නිවෙස තුළ තිබූ පවුම් 8ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති පෙනේ යැයි පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවකි. මේ කාන්තාව එම නිවෙසේ සැමියා, දියණිය සහ මිනිපිරිය සමඟ පදිංචිව සිට ඇති අතර, ඊයේ (21) පෙරවරු 6.30ට පමණ දියණිය මිනිපිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි. පෙරවරු 10.00ට පමණ සැමියා ව්යාපාරික කටයුත්තක් සඳහා මොරටුව ප්රදේශයට යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබූ අතර, ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවෙසේ සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එයින් මඳ වේලාවකට පසු ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා හමු වීමට ආගන්තුක පුද්ගලයකු පැමිණ ඇති අතර,
ඇය නිවෙස ඉදිරිපිට පදිංචි නිවෙසේ කාන්තාවගේ දුරකතනයෙන් සැමියාට ඇමතුමක් දී ඔහු සම්බන්ධ කර කතාබහ කිරීමට සලස්වා ඇති අතර, ඒ අවස්ථාවේදී කාන්තාවගේ සැමියා එම පුද්ගලයාට පවසා ඇත්තේ ‘අද මට එන්න වෙන්නෑ, ඔයා යන්න’ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පාසල නිම වී දහවල් 2.30ට පමණ මිනිපිරිය නිවෙසට පැමිණීමේදී මිත්තණිය නිවෙස තුළ මුළුතැන්ගෙයි ඉදිරිපිට උඩුබැලි අතට වැටී සිටින අයුරු දැක ඇත. ඇය කෑගසන ශබ්දය ඇසී අසල්වාසීන් නිවෙස වෙත පැමිණ බැලීමේදී ඇයගේ අත් දෙක ඇඳ ඇතිරිල්ලක කෙළවරකින් ගැට ගසා තිබී ඇති අතර එහි අනෙක් කෙළවර ගෙල දෙසට වන්නට රැඳී තිබෙනු දක්නට ලැබීයැයි පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් කිරුළපන පොලීසියටය දැනුම් දීමෙන් අනතුරුව නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී කාන්තාව ඒ වන විටත් මියගොස් සිට ඇති අතර, නිවෙස තුළ පරීක්ෂා කිරීමේදී අල්මාරි ඇදදමා ඇති අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. දහවල් සැමියා හමුවීමට පැමිණි පුද්ගලයා මේ ඝාතනය කළාද? නැති නම් වෙන අයකු කළාද? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශනය කරන බව පොලීසිය සඳහන් කරයි.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
0 Comments