කිරුළපන කාලිංග මාවතේ පිහිටි සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කොට නිවසේ තිබූ දහ හතර ලක්ෂ පනස් දහසක් වටිනා රන් භාණ්ඩ තොගයක් හා රුපියල් 20,000 මුදලක් කොල්ල කා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි. සැකකරු මියගිය කාන්තාවගේ සැමියා සමඟ මීට වසර 15 පමණ පෙර කොළඹ පෞද්ගලික සමාගමක සේවය කර ඇති අතර ඒ හිතවත්කම හරහා ඔහු හමුවීමට මහල් නිවාස සංකීර්ණයට පැමිණ තිබේ.ඒ වන විට මිතුරා නිවසේ සිට නොමැති අතර ඔහු එන තෙක් පැය 02 ආසන්න කාලයක් මියගිය කාන්තාව සමග කතාබහ කරමින් සිට පසුව ඇය කඹයකින් ගැට ගසා ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ රුපියල් 14,50,000 වටිනා රන් භාණ්ඩ හා 20,000 මුදලක් කොල්ලකා පලා ගොස් ඇත.බැහැරට ගොස් සිටි මිය ගිය කාන්තාවගේ දියණිය නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය මවගේ අත් පා ගැටගසා ඝාතනය කොට සාලය මැද දමා තිබෙනු දැක ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබේ. පසුව සිද්ධිය වූ ස්ථානයට කිරුළපන පොලිසියේ නිලධාරීහු පැමිණ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් හා ඇඟිලි සලකුණු නිලධාරින්ද කැඳවා පරික්ෂණ ආරම්භ කළහ.
එහිදී සිද්ධිය වූ නිවසට යාබද නිවසක කාන්තාවක් මෙම නිවසට කිසියම් පුද්ගලයෙකු පැමිණ සිටිනු දැක තිබූ බවත් ඇයගෙ ජංගම දුරකථනයෙන් මියගිය කාන්තාවගේ සැමියාට ඇමතුමක් ද ගෙන තිබූ බවට තොරතුරක් අනාවරණය වී තිබේ. ඔහු මියගිය කාන්තාව සමග කතාබහ කරමින් සිටිනු දැක ඇති බවත් ඇය විසින් පොලීසියට පවසා තිබේ.ඒ අනුව නිවාස සංකීර්ණයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කොට ඉන් හඳුනාගත් පුද්ගලයා පදිංචි අම්බලන්තොට ලුණම ප්‍රදේශයට ගොස් එහි නිවසක සැඟව සිටියදී
සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ වන විටත් සැකකරුගේ මුහුණ ගෙල ප්‍රදේවල කාන්තාව සමග පොරබැදීමෙන් තුවාල වූ නියපොතු පහරක් දක්නට ලැබුණි.ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී අදාළ ඝාතනය ඔහු විසින් සිදුකළ බවට පොලිසියට පාපෝච්චාරණයක් කර තිබූ බවත් නිවස පිටුපස ලී දඬු තොගයක් අස්සේ සොරා ගත් රන් භාණ්ඩ තොගය සඟවා තිබිය දී සොයාගත් බවත් හෙළි වී ඇත.අධික ලෙස සුදුවට ඇබ්බැහි වීම නිසා වූ ණය තුරුස්වලින් නිදහස් වීමට මුදලක් ඉල්ලා ගැනීමට මෙසේ මිතුරා හමුවීමට කොළඹට පැමිණ ඇති බවත් ඔහු හමු නොවූ නිසා කාන්තාවට පහරදී ඝාතනය කොට මෙම කොල්ලය සිදුකර පලාගිය බවත් තොරතුරු අනාවරණය වූ බවත් හෙළි වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන කාලිංග මාවත කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ අංකA/F/2U5 හි පදිංචි මරදෙයි කමලා සින්නම්මා නමැති (70) හැවිරිදි කාන්තාවකි.මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගෙල සිර කිරීමෙන් උගුරු දණ්ඩ කැඩී ශ්වසන අපහසුතාව හේතුවෙන් සිදු වූ මරණයක් බවටයි.ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත් කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලබන 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
(
බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments