කිරුළපන පොලීසිය වාර්තා කරන ආකාරයට, දේව සභාවකට අයත් කිරුළපන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක උපකාරක පන්තියකදී වයස අවුරුදු 14ක සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දේවගැතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහරගම, හේන්ගෙදර පාරේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අපයෝජනයට ලක් වූ සිසුවිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය අනාවරණය වී ඇත්තේ කිරුළපන පැරණි පොදු වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයෙකු විසින් ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝ දර්ශන මගිනි. පොලිස් වාර්තා අනුව, ව්‍යාපාරිකයා පසුගිය 24 වැනි දින සවස තම ව්‍යාපාරික ස්ථානයේ සේවකයින් දෙදෙනෙකු සමඟ සිටි අවස්ථාවේ දැරියන් දෙදෙනෙකු උපකාරක පන්තියට යන අයුරු නිරීක්ෂණය කර ඇත. ඉන් විනාඩි 15කට පමණ පසු සැකකරු දැරියන් අපයෝජනය කරන අයුරු ඔහු වීඩියෝගත කර, සේවකයින් සමඟ එම ආගමික මධ්‍යස්ථානයට ගොස් දේවගැතිවරයා හමුවී, අනතුරුව පොලීසියට පැමිණිලි කර තිබේ.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරන පරිදි, සිසුවියගෙන් ලබාගත් ප්‍රකාශයේ සඳහන් වන්නේ වසර තුනක පමණ කාලයක සිට ඇය මෙම උපකාරක පන්තියට සහභාගී වන බවත්, සෑම දිනකම පාහේ දේවගැතිවරයා විසින් ඇය අපයෝජනයට ලක් කර ඇති බවත්ය. සිසුවිය තවදුරටත් පවසා ඇත්තේ දේවගැතිවරයා මෙම ක්‍රියා සිදු කරන්නේ තමාට ඇති ආදරය නිසා යැයි සිතූ බැවින්, එය වරදක් බව නොදැන සිටි බවත්, එම නිසා ඒ පිළිබඳව කිසිවෙකුට නොපැවසූ බවත්ය.
කිරුළපන පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.
0 Comments