ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහය සහිතව දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යාමට පෙරේදා (26) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි තරුණ තරුණියන් 91 දෙනකුට ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් එම රැකියා අවස්ථා අත්හැර දැමීමට සිදු වී ඇත.
සිද්ධියට මුහුණපෑ පිරිසෙන් බහුතරයක් දිවයිනේ ඈත එපිට ප්‍රදේශවලින් පැමිණි අය වන අතර, එම පිරිස එක් තරුණියක් සහ තරුණයෝ 90කින් සමන්විතව සිටියහ.මෙම පිරිසට නියමිත වේලාවට ගුවන්ගත වීමට නොහැකි වීම මත කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් නැවත දැනුම් දෙන තුරු එම කණ්ඩායම එරටට නොඑවන ලෙස දන්වා ඇති බට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමන්ට දැනුම් දී ඇති බව ද එම පිරිස සඳහන් කරති.
තමන්ට ගුවන්ගත වීමට නියමිතව තිබූ ගුවන් යානය ගුවන්ගත වීම ප්‍රමාද වීමත් සමග යම් කිසි රැකියාලාභියකුගේ සේවා ගිවිසුමක් අවලංගු වුවහොත් එයට සාධාරණයක් සිදු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බවත්, මෙම සිද්ධියෙන් අපහසුතාවට පත් පිරිස ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර අංශයේ අතිරේක ලේකම් සෙනරත් යාපා මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කනගාටුව ප්‍රකාශ කරන බවය.
කෙසේ වෙතත්, එම රැකියා සඳහා පිටත්ව යාමට සිටි 91 දෙනාටම ලබන මස 1 වැනිදා එම අවස්ථාව ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවත් පැවැසීය.
අපහසුතාවට පත්ව පිරිස අතරින් දිවයිනේ ඈත එපිට ප්‍රදේශවලින් පැමිණ සිටින ඕනෑම අයකුට ලබන 1 වැනිදා වනතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පාලනය වන කටුනායක සහන පියසේ සියලු පහසුකම් ඇතිව නවාතැන් පහසුකම් ලබා දීමට සූදානම් බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
ටී.කේ.ජී. කපිල
0 Comments