laggala-incident

ලග්ගල, දේවාලදෙනිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට පෙරේදා (10) රාත්‍රියේ ඇතුළු වූ නාදුනන පස් දෙනකු කෝටිපති ව්‍යාපාරිකයා, බිරිද සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සහ මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි. පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී 11 දින පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.


ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් පොඩි රෝහණ නමැති ව්‍යාපාරිකයාගේ මුදල්, රන් භාණ්ඩ, මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.රාත්‍රි නමය පසුවනවාත් සමග මෙම ව්‍යාපාරිකයා නිවෙසට පැමිණ නිවෙස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදු කරමින් සිටියදී නිවෙස පිටුපස තාප්පයකින් පැන මුහුණු ආවරණය කරගෙන පැමිණි පස් දෙනකු පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේජ්වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුළට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.




නිවෙස තුළ සිටි ඔහුගේ පියාගේ මෙන්ම බිරිඳගේ දෑත් දෙපා ගැටගසා මුදල්, රන්භාණ්ඩ, මැණික් ගල්, ජංගම දුරකථන මෙන්ම මෝටර් රථය ද රැගෙන ගිය බවත් ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔහුගේ පියා දෙපා ලෙහා දමා ගොස් ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම මහමග දමා ගොස් තිබුණු මෝටර් රථය පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි, දඹුල්ල පොලිසියට අයත් නිල පොලිස් සුනඛ අංශයේ “ගියෝ” නමැති පොලිස් නිල සුනඛයා රැගෙන ගොස් මංකොල්ලයට පැමිණි අය දමා ගිය බවට සැක කරන පාවහන් යුගලයක් ලබා දී ඔවුන් ගමන් ගත්තු මාර්ගය පිළිබඳව පරීක්ෂා

කිරීම පොලිසිය විසින් 11 දින පෙරවරුවේ සිදු කළේය. නිවාස ආසන්නයේ සිට මද දුරක් ගොස් නිල සුනඛයා විසින් සැකකරුවන් ඇතැම්විට නැවතී සිටි ස්ථානයක් නිරීක්ෂණය වූ බව පොලිසිය කියයි, පසුව කිලෝමීටර් තුන් කාලක් පමණ ප්‍රධාන මාර්ගය දිගේ ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මෙම නිල සුනඛයා නවතින බව පොලිසිය සඳහන් කළේය.




මෙම ව්‍යපාරිකයා, බිරිඳ සහ ඔහුගේ පියා මේ වනවිට විද්‍යාත්මක පරීක්ෂණ කටයුත්තක් සඳහා දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙම නිවෙස වටේටම තාප්ප ගසා ආරක්ෂිත කැමරා පද්ධති සවිකොට ගේට්ටු දමා දැඩි රැකවරණයක් දමා තිබුණු බවද පොලිසිය සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත මෙම කණ්ඩායම විසින් රැගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.එම දත්ත සොයාගෙන පැමිණි කණ්ඩායම පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පද්මරාජ මහතා සඳහන් කළේය.
(කාංචන කුමාර ආරියදාස)