lal-kantha-speaks

 ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මහනුවර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද චෝදනාවකට අනුව කොළඹ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට පැමිණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.






ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02වැනිදා මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැලියේදී කේ.ඩී. ලාල් කාන්ත මහතා චෝදනා කර සිටියේ, එම රැලිය සඳහා අලවන ලද ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ප්‍රචාරක දැන්වීම් පත්‍රිකා ඉරා දමා ඇති බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන පෝස්ටර් ඇලවීමට තහනම් වුවද මෙවර මැතිවරණයේ ප්‍රධාන ප්‍රචාරක රැලි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් ඇලවීමට මැතිවරණ කොමිෂන් සභාව අවසර දී ඇති බවයි .


එවැනි පසුබිමක් යටතේ මහනුවර ප්‍රදේශයේ ඇතැම් පොලිස් බලප්‍රදේශවල ජාතික ජන බලවේගයේ මහයියාව ප්‍රධාන රැලියේ පෝස්ටර් ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඉරා දමා ඇති බවයි .එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම පොලිස් ස්ථානවල නම් හෙළි නොකරන බවත් එම පොලිස් ස්ථානාධිපතිවරුන් සිතා සිටිනුයේ තවමත් පැරණි රජය තිබෙනවා යැයි කියාද ලාල් කාන්ත මහතා පැවසීය.




එම චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (04දා) කොළඹ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් පල්ලෙකැලේ, මැණික්හින්න සහ වත්තේගම යන පොලිස් ස්ථානවලට ගොස් එහි ස්ථානාධිපතිවරුන්ගෙන් සහ ඊට අදාළ පාර්ශ්වවලින් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පැවසීය.
(ෂේන් සෙනෙවිරත්න)