lohan-court

මිරිහාන ප්‍රදේශයේ නිවෙසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සවිස්තර වෛද්‍ය වාර්තාවක් ලබන 29 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (19) නියෝග කළේය.




අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කරුණු දක්වමින්, නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීමට සති හතරක කාලයක් තමන්ට දෙන්නැයි ඉල්ලා සිටියේය.




පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා එම ඉල්ලීමට විරුද්ධත්වය දක්වමින්, නඩුව ප්‍රමාද කිරීම සඳහා මෙය හිතාමතාම කරන ඉල්ලීමක් වන හෙයින් ඊට අවසර නොදෙන්නැයි ඉල්ලා සිටියේය.අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කරුණු දක්වමින්, සම්මත අධිකරණ පටිපාටියෙන් බැහැරව පෙත්සම සලකා බැලීමට ඉල්ලීම් කිරීමට හැකියාවක් නැතැයි කීය.


එදිනෙදා සාමාන්‍ය පටිපාටිය යටතේ මෙම පෙත්සම සලකා බැලිය යුතු බවත්, මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට කල් ලබා දෙන ලෙසත් ශනිල් කුලරත්න මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ වන විට රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද, ඔහුගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන මෙම පෙත්සම සලකා බැලීම සඳහා කෙටි දිනයක් දෙන්නැයි ද ඉල්ලා සිටියේය.


අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කරුණු දක්වමින්, පෙත්සම්කරුට කඩිනමින් ඇප ගැනීමට අවශ්‍ය නම් එම ඉල්ලීම සුදුසු අධිකරණයකට ඉදිරිපත් කළ යුතු බවත්, මෙම පෙත්සම හරහා එවැනි සහනයක් අපේක්ෂා කළ නොහැකි බවත් පැවැසීය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ලබන 29 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ විනිසුරු මඬුල්ල, පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් 9 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොහාන් රත්වත්තේ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සවිස්තර වෛද්‍ය වාර්තාවක් ලබන 29 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද විනිසුරු මඬුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
(රංජන් කටුගම්පොල)