නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර තිබේ.
රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා ඇති නිසා ඔහුට රෝහල් ඇඳක් වෙන්කරදී ඇත.
අග්න්‍යාශ ප්‍රදාහය (Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) හා වෙනත් රෝගී තත්ත්වයන් සඳහන් කරමින් වෛද්‍යවරුන්ගේ රෝග වාර්තා අමුණමින් එවන ලද අයදුම් පත්‍රය නීතිය අනුව සලකා බැලීමේදී ඔහුට මෙම පහසුකම ලබාදීමට සිදුවූ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
"අධිකරණයෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැතිවරයා අඛණ්ඩව ලබාදිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා" ඔහු කීය.
මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහුට අඛණ්ඩ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය බව වාර්තා කර තිබෙන නිසා වරදක් කර තිබුණත් ජීවිතයක් බේරාගැනීමේ සිරකරු අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පැනනගින නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව තහවුරු කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 31 වන දින පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී, නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර
නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.
0 Comments