madush-death-wife

 හෙරොයින් කිලෝ 22ක් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමකදී වෙඩිවැදී මියගිය බව කියන පාතාල කල්ලි සාමාජික මාකදුරේ මධුෂ්  නමැත්තාගේ වරණය සම්බන්ධයෙන් කරන විමර්ශන රහස් පොලිසියට පවරන්නැයි ඔහුගේ බිරිද කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (07) පුතික්ෂේප කළේය.
 



මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් මලිගාවත්ත පොලිසිය කරන විමර්ශන සම්බන්ධයෙන් සැහීමකට පත් නොවන්නේ නම් පොලිස්පතිවරයාට, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් පතිවරයාට හෝ රහස් පොලිසියට පැමිණිලි කළ හැකි බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිසමේ චක්‍රලේඛ ප්‍රකාරව විමර්ශන රහස් පොලිසිය වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය. මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා තීන්දුවක් දී ඇතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණය දුන් තීන්දුවට අනුව සිද්ධියට අදාළව කරන ඉදිරි විමර්ශන වල ප්‍රතිය දෙසැම්බර් 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාවත්ත පොලිසියට නියෝග කළේය.




මාකඳුරේ මධුෂ් නමැත්තාගේ බිරිඳ වන මාකඳුරේ ගයානි මුතුමාලි මහත්මිය නීතිඥ සේනක පෙරේරා මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝෂමකට අනුව මෙම නඩුව ඊයේ කැඳවනු ලැබීය.පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අගතියට පත් වී සිටින බව කියන ගයානි මුතුමාලි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා

මහතා කරුණු දක්වමින් පොලිස් අත්අඩංගුවේ සිටි තම සේවාදායිකාවගේ සැමියා වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධූෂ් 2020 ඔක්තෝබර් 20 වැනිදා පාන්දර 3.00ට පමණ මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ දී වෙඩි වැදී මිය ගොස් ඇතැයි කීය.


පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධූෂ් නමැත්තාට නාඳුන්න තුවක්කුකරුවකු වෙඩි තිබුබා කියා මාලිගාවත්ත පොලිසිය මුලින් මෙම විමර්ශනය ආරම්භ කළේ යැයිද මාලිගාවත්ත පොලිසිය කරන මෙම විමර්ශනය සම්බන්ධයෙන් සැක සහිත බොහෝ තැන් ඇතැයිද කී නීතිඥ සේනක පෙරේරා මහතා පොලිස් අත්අඩංගුවේ පසු වූ මධුෂ් සතුව දුරකතනයක් තිබූ බවත්, එම දුරකතන ජාලයයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තොරතුරු තොරතුරු රැස්කළ බවත්, රැස් කරගත් තොරතුරුවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාළිගාවත්ත නිවාස සංකීර්ණයට ගිය බවත් පොලිසිය සාක්ෂි ඉදිරිපත් කරමින් පවසා ඇතැයි කීය.


පොලිසිය ඉදිරිපත් කළ එම සාක්ෂි බොහෝ සැකසහිත යැයිද මධුෂ් නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටින බව මුළු ලෝකයම දන්නේ යැයිද කී නීතිඥ සේනක පෙරේරා මහතා පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවකු ළඟ තිබෙන දුරකතනයකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කතා කරනවාදැයි? ප්‍රශ්න කළේය.

මාකඳුරේ මධූෂ් නමැත්තා අත්අඩංගුවට පත් වීමට පෙර මාධ්‍යයකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එවකට මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර ඇතැයිද එම ප්‍රකාශය හැන්සාඩ් ගත වී ඇතැයිද කී නීතිඥ සේනක පෙරේරා මහතා මධුෂ්ගේ ප්‍රකාශය අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අනාවරණය කර ඇති බවට විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කර ඇතැයිද මධුෂ්ගේ එම අනාවරණය හේතුවෙන් ඔහුට යම් දෙයක් වුණාද? යන සැකය මතුවන්නේ යැයිද කීය.


මෙම විමර්ශනය පැවැති කාලයේදී මේ කරුණු හෙළි කරමින් අදහස් ප්‍රකාශ කිරීමට තරම් වාතාවරණයක් නොතිබූ බවත් ඒ හේතුව මත තමන් බිය වී සිටි බවත් කී නීතිඥ සේනක පෙරේරා මහතා වත්මන් ආණ්ඩුව  බලයට පත්වූ පසු යුක්තිය සහ සාධාරණය ඉටුවේ යැයි විශ්වාසය මත මෙම ඉල්ලීම් කරන්නේ යැයි ද කීය.

 

මරණ පරීක්ෂණ විමර්ශනය අනුව මෙය ඝාතනයක් බවට තීරණය කරමින් සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇතත් මේ දක්වා කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට නොගෙන නඩුව බහා තබා ඇතැයි පෙන්වා දුන් සේනක පෙරේරා මහතා

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 119 වගන්ති යටතේ මේ පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලිසියට බාර කරන්නැයි ඉල්ලා සිටියේය.


කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිසම නිකුත් කර ඇති චක්‍රලේඛවලට අනුව විමර්ශනයක් රහස් පොලිසියට පැවරීමට උසාවියකට බව නොහැකි පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශවයේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මනේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවයට රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 05 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලිසියට නියෝග කළේය.
(රෝෂන් තුෂාර)