maharagama-accident

මහරගම කොළඹ පාරේ වත්තේ ගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් ඉදිරිපිට පෙරේදා (20) රාත්‍රී නිදා සිටි කිසියම් පුද්ගලයකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකට යටකර බරපතළ තුවාල සිදුකර පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මහරගම පොලිසිය කියයි.බරපතළ තුවාල ලද එම පුද්ගලයා රෝහල් ගත කර ඇත.




පෙරේදා (20) රාත්‍රී 9.40 ට පමණ අදාළ වෙළෙඳසැල වසා තිබියදී එහි ඉදිරිපිට නතර කර තිබූ ඩිෆෙන්ඩර් ජීප් රථය නිදා සිටි පුද්ගලයාගේ ඉණ හා පාද ප්‍රදේශය යට වන ආකාරයෙන් පසුපසට ධාවනය වීමේදී අසල මෝටර් රථයක සිටි රියදුරකු කෑ ගසා එය නැවැත්වීමට උත්සාහ දරා ඇති අතර එය නොතකු ඩිෆෙන්ඩර් රියදුරු ඒ ආකාරයෙන්ම ජීප් රථය පසුපසට ගෙන කොළඹ දෙසට පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ මහරගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් බරපතළ තුවාල ලද පුද්ගලයා 1990 සුව සැරිය ගිලන් රථයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.




එම පුද්ගලයාගේ ඉණ ප්‍රදේශය සහ පාද දෙකටම බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.ඩිෆෙන්ඩර් රථ රියදුරු අපරීක්ෂාකාරීව සිතා මතා සිදු කළ අනතුර අසල වෙළෙඳසලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි.බරපතළ තුවාල ලද පුද්ගලයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අංකය පොලිසිය වෙත මේ වන විට ලැබී ඇති අතරේ ඒ ඔස්සේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
( බිමල් නමන් ජයසිංහ)