හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත්තේ, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බව ය.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 7 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි වේ.



එමෙන් ම, දැනට වාහන 3ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති බව ත් එම වාහන වන්නේ, Mercedes Benz මෝටර් රථයක්, Toyota Land Cruiser ජීප් රථයක් , Mercedes Benz වර්ගයේ තවත් ජීප් රථයක් බව ත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියැදුරන් තිදෙනෙකු නිදහස් කර තිබෙන බව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි.



ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත්තේ, ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියැදුරන් 29 දෙනෙක් සිටින බව ය.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.