doctor-10lakhs-bribe-candidate
වෛද්‍යවරයෙකු බිය ගන්වා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඉන් සැකකරුවන් සිව් දෙනෙකු නොවැම්බර් 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කර ඇත.

ජන අරගල සංවිධානයේ අපේක්ෂිකාව වන ඇතුළත් මුදලිගේ මාලා ප්‍රනාන්දු ප්‍රියන්ති සහ ඇගේ සැමියා වන ඇතුලත් මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන දෙදෙනා ඇප මත මුදා හැර ඇත. සුදාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් උෂුප්, රාජපක්ෂගේ අශේන්, දිමුතු එරංග යන සැකකරුවන් සිව්දෙනා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.



සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාතේ රෝහලක සේවය කරන වෛද්‍යවරයා විසින් බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව, ඔහු අන්තර්ජාල යෙදවුමක් හරහා සම්බාහන සේවාවක් වෙන්කරවා ගෙන නොවැම්බර් 8 වන දින බම්බලපිටියේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසකට පැමිණ ඇත. සම්බාහනය සඳහා සූදානම් වන අවස්ථාවේ උල් පිහියක් සහිත පුද්ගලයින් තිදෙනෙක් කාමරයට කඩා පැන ඔහුගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර ඇත.

බියට පත් වෛද්‍යවරයා සැකකරුවන් ලබා දුන් බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දහයක් ඔන්ලයින් මාර්ගයෙන් බැර කර ඇති අතර, ඔහු සන්තකයේ තිබූ රුපියල් 15,000ක මුදලද බලහත්කාරයෙන් පැහැර ගෙන ඇත. පැයකට පමණ පසු වෛද්‍යවරයා මුදා හැර ඇති අතර, ඔහු නීතිඥවරයෙකු සමඟ පොලීසියට පැමිණ පැමිණිල්ල කර ඇත.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ කරුණු අනුව, සැකකරුවන් මෙම නිවස දිනකට රුපියල් 3,500ක මුදලකට කුලියට ලබාගෙන ඇති අතර, කොල්ලකෑමෙන් ලබාගත් මුදල් පිළියන්දල සූවාරපොල ප්‍රදේශයේ පදිංචි නැන්දනියගේ ගිණුමට බැර කර ඇත. සැකකරුවන්ගෙන් පිටත කිහිප දෙනෙක් මීට පෙරද මෙවැනි ක්‍රමයට කොල්ලකෑම්වල නිරත වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.