mannar-girl-death

මන්නා­රම රෝහ­ලේදී දරු ප්‍රසූ­ති­යේදී මිය­ගිය මවගේ හා දරු­වාගේ මරණ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ මන්නා­රම රෝහ­ලේ­දීම පැවැ­ත්වී­මට එරෙ­හිව ප්‍රදේ­ශ­වා­සීන් පන්සි­ය­ය­කට වැඩි පිරි­සක් රෝහ­ලට කඩා­වැදී පෙරේදා (20) විරෝ­ධ­තා­වක නිරත වූහ. පළාතේ ආග­මික නාය­ක­ය­න්ගේද සහාය ඇතිව දැඩි වර්ෂාව මධ්‍යයේ පැමිණි මේ පිරිස රෝහල් භූමියේ සිට කෑ කෝ ගස­මින් මිය­ගිය කාන්තා­වට හා දරු­වාට සාධා­ර­ණය ඉටු කර දෙන්නැයි ඉල්ලා සිටි­යහ.

මන්නා­රම රෝහ­ලට කඩා­වැ­දුණු පිරිස පාල­නය කිරී­මට මන්නා­රම පොලී­සියේ නිල­ධා­රින්ට දැඩි අප­හ­සු­තා­වක් ඇති වූ අතර, පොලී­සිය හා රෝහලේ පාලන අධි­කා­රිය සාකච්ඡා කිරී­මෙන් පසුව ගත් තීරණ කීප­යක් මත ජන­තාව මන්නා­රම රෝහල් භූමි­යෙන් ඉවත්ව ගියහ.



මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේදී  පසුගිය19 දින රාත්‍රියේ ගැබිණි මවක්, නූපන් දරුවා සමඟ මියයාම රෝහලේ නොසැලකිල්ල මත සිදුවූ බවට පැවති විරෝධතාවයකින් පසු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිද මැදහත්වී අමාත්‍යාංශය පරීක්ෂණයක් සිදුකරමින් පවතී.

මන්නාරම, පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක් දරුවන් නොමැතිව සිටි 27 හැවිරිදි තරුණ මවක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුළත් කර  ප්‍රතිකාර ලබමින් සිටියදී මව සහ නූපන් දරුවා මියගොස් ඇත. මියගිය දරුවා පිරිමි දරුවෙකි. වනජා නමැති තරුණ මව මිය ගියේ
 හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළී සිට බව හෙළිව ඇති අතර ඇයට එම අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා එම කාන්තාව සිසේරියන් සැත්කමක් කරන ලෙස ඉල්ලා තිබෙන බව කියැවේ.
නමුත් එය පිළිනොගෙන වෛද්‍යවරුන් ස්වභාවිකව දරු ප්‍රසූතිය සිදු කිරීමට උත්සාහ කිරීමේදී මව සහ දරුවා මිය ගිය බව වාර්තා වේ.
වෛද්‍යවරුන්ගේ සහ හෙද නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත්, මරණය පිළිබඳ කාරණය දීර්ඝ වේලාවක් යනතුරු ඥාතීන්ට වසන් කළ බවත්, මියගිය කාන්තාවගේ දේහය බැලීමට දෙමාපියන්ට ඉඩ නොදුන් බවත් ඥාතීන් චෝදනා කර තිබේ.
රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය නිරතුරුව නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන බවත්, වැඩ කරන වේලාවේ ටෙලි නාට්‍ය නරඹන බවත්, වැඩිපුර දුරකථන භාවිත කරන බවත්, මාතෘ රෝහල තුළ සිටින බල්ලන්ට පව‍ා ඔවුන් නොසලකන බවත් දරු ප්‍රසූතියට ඇතුළත් වූ කාන්තාවන් චෝදනා කර තිබේ.



මිය­ගිය දෙදෙනා සම්බ­න්ධ­යෙන් වූ සියලු වෛද්‍ය පරී­ක්ෂණ යාප­නය ශික්ෂණ රෝහ­ලේදී පැවැ­ත්වී­මට තීර­ණය කර ඇති අතර, මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් ඍජු පරී­ක්ෂ­ණ­යක් හා පළාත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මට්ට­මින් තවත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­ම­ටත් තීර­ණය වී තිබේ.

එම පරී­ක්ෂ­ණ­ව­ලදී යම් අයකු වර­ද­ක­රු­වකු වුව­හොත් ඔහුගේ තරා­ති­රම නොබලා දඬු­වම් කිරී­මට පළාත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය එකඟ වී ඇති අතර, සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැ­ත්වීම පිණිස විශේෂ කමි­ටු­වක්ද පත් කර තිබේ.

ඒ අනුව මිය­ගිය මවගේ හා ප්‍රසූත කළ දරු­වාගේ මෘත ශරීර වැඩි­දුර පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට යාප­නය ශික්ෂණ රෝහල වෙත දැඩි ආර­ක්ෂාව මැද රැගෙන ගොස් තිබේ.

මිය­ගිය කාන්තාව දරුවා ප්‍රසූත කිරී­මට ආස­න්න­යේදී කෑ ගැසු­වත් වාට්ටුවේ රූප­වා­හි­නිය නර­ඹ­මින් හා ජංගම දුර­ක­තන භාවිත කර­මින් සිටි හෙදි­යන් හා අනෙක් කාර්ය මණ්ඩ­ලය ඒ ගැන කිසිම තැකී­මක් නොකළ බවට ද ජන­තා­ව­ගෙන් චෝදනා එල්ල වී තිබේ.
(රසුල දිල්හාර ගමගේ)